ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජයේ උපදෙස් සහිතව, COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ 'සෞභාග්‍යා' COVID-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය, බලපත්‍රලාභී බැංකු හරහා හඳුන්වා දුන් අතර, එය රටේ ආර්ථික කටයුතු නැවත නගාසිටුවීමට සහාය වනු ඇති බව මහ බැංකුව පවසයි.

 වාර්ෂික පිරිවැටුම රු.බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑම ව්‍යාපාරයක් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබාගත හැකිය. මෙම රු.බිලියනයක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත සේවා සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවේ.
අදියර 3ක් යටතේ ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමය හරහා 4%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය සඳහාරු.බිලියන 150ක මුදලක් මුදාහැරීමට ආපේක්ෂිතය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 ජූලි මස 02 වැනි දින වනවිට ව්‍යාපාර 20,240ක් සඳහා කාරක ප්‍රාග්ධන ණය ලෙස රු.බිලියන 53කට වඩා වැඩි මුදලක් මුදාහැර ඇත. මාස 6ක් දක්වා වූ උපරිම සහන කාලසීමාවක්ද ඇතුළත්ව මාස 24ක් දක්වා වූ ණය ආපසුගෙවීමේ කාලසීමාවක් සඳහා 4%ක වාර්ෂික සහනදායී පොලී අනුපාතයක් යටතේ මෙම ණය ලබාදෙනු ඇත.

2020 අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමයේ පළමු වැනි අදියර යටතේ, ව්‍යාපාර 13,926ක් සඳහා රු.බිලියන 28ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී. අනුමත කරනලද ණය අතුරින්, 2020 ජූලි මස 02 වැනි දින වන විට දිවයින පුරා පීඩාවට පත් ව්‍යාපාර හා තනි පුද්ගල ව්‍යාපාර 10,270ක් සඳහා රු.බිලියන 21කට වඩා වැඩි මුදලක් බලපත්‍රලාභී බැංකු විසින් මුදා හැර ඇත.

2020 ජුනි මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ, ව්‍යාපාර හා තනි පුද්ගල ව්‍යාපාර 6,314ක් සඳහා රු.බිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී.
 පළමු හා දෙවැනි අදියර යටතේ අනුමත කරන ලද සම්පූර්ණ මුදල වන රු.බිලියන 53 අතුරින් 45%ක ප්‍රමාණයක්
වෙළෙඳාම ප්‍රමුඛ සේවා අංශයේ ව්‍යාපාර සඳහාද, 38%ක හා 17%ක ප්‍රමාණයක් පිළිවෙළින්  කර්මාන්ත හා කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර සඳහාද ලබාදී ඇත.

බලපත්‍රලාභී බැකුවල පවත්නා අතිරික්ත ද්‍රවශීලතාව යොදාගනිමින් ප්‍රමාණවත් සුරැකුම් ඉදිරිපත් කළ නොහැකි  ව්‍යාපාර සඳහා අරමුදල්  සැපයීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැකුව 4%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මෙම  ණය යෝජනා ක්‍රමයේ තුන් වැනි අදියර, ණය ඇප ආවරණ හා පොලී සහන සහිතව 2020 ජූලි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන බව නිවේදනය කරන ලදී. ඒ අනුව, බැංකුවල පිරිවැය ආවරණය කිරීම සඳහා 5%ක වාර්ෂික පොලී සහනාධාරයක් සැපයීම මගින් අවසාන ණය ගැනුම්කරුවන්ගේ ණය අවදානමෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රී ලංකා මහ බැංකුව · විසින් දරනු ලබයි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාපේක්ෂව විශාල ණය වෙනුවෙන් 50%ක සිට කුඩා ණය වෙනුවෙන් 80%ක් දක්වා පරාසයක ණය ඇප ආවරණයක් බැංකු වෙත ලබාදෙනු ඇත.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය අයදුම්පත් 2020 අගෝස්තු මස 31 වැනි දින දක්වා බැංකු ආයතන වෙත  භාරදීම සිදුකළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙයි.

• ෂමිලා පෙරේරා