අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන ගෝලයකු වන 'තලංගම බන්ටි' නැමැත්තා ඇතුළු තිදෙනකු බත්තරමුල්ල කොරාඹේ ප්‍රදේශයේදී ඊයේ (5) අලුයම තලංගම පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව රුපියල් 10,000ක් වටිනා හෙරොයින් සහ මුදලින් රුපියල් 54000 ක් තිබු බවත් ඔහු සමග සිටි සෙසු සැකකරුවන් තිදෙනා හෙරොයින් පැකට් කිරීම සඳහා කහතුඩුව ප්‍රදේශයේ සිට රැගෙනවිත් සිටි බව ද පොලිස් මූලස්ථානය පවසයි.



මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබිණි.
අංගොඩ ලොක්කාට අයත් මත්කුඩු තලංගම, බත්තරමුල්ල, හා ඒ අවට ප්‍රදේශ වෙත බෙදා හරින්නේ 25 හැවිරිදි මෙම බන්ටි නමැත්තා බව ද පොලිසිය කියයි.

 2017 වසරේ කළුතර එතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සංවිධානාත්මක අපරාධකරුවකු වන සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය, බත්තරමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම යන අපරාධ සම්බන්ධයෙන් මොහු ඇප මත සිටින්නෙකි.

 මොහු මත්කුඩු පැකට් කරන සේවකයන්ට මාස්පතා පඩිදී ඔහුගේ ගෙවීමේ ක්‍රමයට ලබාගත් මෝටර් රථයට මාසිකව රුපියල් 2,40,000 ක මුදලක් ගෙවන බවත් මෙම මුදල් ඔහු උපයාගෙන ඇත්තේ මත්කඩු ජාවාරමෙන් බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව තිබිණ. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දකුණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, නුගේගොඩ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, නුගේගොඩ බාර පොලිස් අධිකාරි මාලන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත, තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් ද දිල්රුක් මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයමහ, කොස්තාපල් 84768 කුමාර මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළේය.

(ඉන්දිකා රාමනායක සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)