මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී දැනට බන්ධනාගාරගතව සිටින කුඩු නිලාන් නමැත්තාට අයත්ව තිබූ බව කියන මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ළග තබාගෙන සිටියේ යැයි කියන කිරිඳිවැල ප්‍රදේශයේ දේවාලයක කපුවෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයේ දේවාලයක කපුවකු බව පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (05) පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ  මර්දන හා බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව පරික්ෂණ පවත්වන කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි මෙම කපුවා මුලින්ම අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර කපුවාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත  එම ගෙවත්තේ වළදමා තිබූ මෙම මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය  සොයාගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ කාලයේ එහි නායක මට්ටමේ අය මෙම වර්ගයේ පිස්තෝල පරිහරණය කළ බවත් හිටපු කොටි සාමාජිකයකු මගින් මෙය පාතාලයට ලැබෙන්නට ඇති බවටත් පොලිස් විශේෂ කාර්ය බළකාය සැකකරයි. කුඩු නිලාන් නැමැත්තාගේ බිරියද මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින අතර ඇය පොලිසියට කොටුවීමට කලින් මෙම අවිය කපුවාට දී ඇති බවද පොලිසිය පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත එහි සංවිධානාත්මක අපරාධ මර්දන හා බුද්ධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාන්ත රත්තපිටිය සහ සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම සිදුකර වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, කිරිඳිවැල උපාලි රණවීර)