මහ බැංකුව, බැංකු පොලී අනුපාත තවදුරටත් පහත  දැමීමට  තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා ඊයේ (9) පැවසීය.
මෙමඟින් වාණිජ බැංකු අතර කෙරෙන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන  අතර එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරීමට වාණිජ  බැංකුවලට අවස්ථාව උදා වන බව ද ඔහු කීය.

කොවිඩ් වසංගතයෙන් බලපෑමට ලක්ව සිටින ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට  තව තවත් සහන පොලියට ණය නිකුත් කිරීම පහසු කිරීමේ අරමුණින් මුදල්  මණ්ඩලය එම තීන්දුව ගත් බව ද හෙතෙම කීවේය.
ආර්ථිකයේ ඵලදායී අංශ වෙත කඩිනමින් ණය ලබාදීම සඳහා මූල්‍ය පද්ධතිය දිරිමත් කිරීමේ අරමුණින් යුතුව අඩු උද්ධමනයක් පවතින වාතාවරණයක් යටතේ මුදල් මණ්ඩලය මෙම තීරණ ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
 මේ වසරේ මේ දක්වා කාලය තුළ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල කරන ලද පදනම් අංක 250ක සමස්ත පහළ දැමීම්වල සම්පූර්ණ ප්‍රතිලාභ ආර්ථිකය
වෙත ප්‍රමාදයකින් තොරව ලබාදෙතැයි ද මුදල් මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ මූලය ආයතන වෙත නැවත වරක් දැනුම් දී ඇත.

නව කොරෝනා වයිරස කාලසීමාවේදී ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර සහනදායී ණය යෝජනා ක්‍රම කිහීපයක් ද ක්‍රියාත්මක කර ඇත.
 ඊට අමතරව ප්‍රතිපත්ති පොලී අනුපාතික සියයට 2.5කින් ද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 3කින් අඩු කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර
ගෙන තිබේ. ව්‍යවස්ථා සංචිත අනුපාතය අඩු කිරීම මඟින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල ද්‍රවශීලතාව ඉහළ යයි. ඒ අනුව එම බැංකුවලට පෞද්ගලික අංශයේ ණය ගත්තන්ට ණය ලබාදීමට ද අවස්ථාව හිමවන බව ද මහ බැංකුව කියයි.
මේ අතර ජුනි මාසය අවසන් වනවිට මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7ක් යැයි ද ශ්‍රී ලංකා මහ බැකුව සඳහන් කරයි.