වැටලීවලින් අත්අඩංගුවට ගත් හෙරොයින් කූඨ ලෙස අලෙවි කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් කරන නාකොටික් නිලධාරින් දෙදෙනෙකුට අයත් ලොරි රථ 04ක්, වෑන් රථ 02ක් සහ නවීන පන්නයේ මෝටර් රථයක් පල්ලේවෙල ප්‍රදේශයේදී
අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ඊයේ පැවසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණයෙන් යුතු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෙම වැටලීම සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පල්ලේවෙල පොලිස් වසමේ බාඳුරාගොඩ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, පොලිස් භාරයට ගන්නා ලද ලොරි රථ තුනක්, වෑන් රථ දෙකක් සහ සුබෝපභෝගී මෝටර් රථය අත්අඩංගුවේ සිටින උප පොලිස් පරීක්ෂකයකුට අයත් වූ බවත් අනෙක් ලොරි රථය අත්අඩංගුවේ සිටින පොලිස් සැරයන්වරයකුට අයත් එකක් බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ලොරි රථ දෙකක් සහ වෑන් රථයක් බාඳුරාගොඩ ප්‍රදේශයේ පිහිටි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට කුලී පදනම මත ලබාදී තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථ දෙක අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන උප පොලිස් පරික්ෂකවරයාගේ ඥාතියකුගේ නමට ලියාපදිංචි කර තිබී ඇති බවට ද කරුණු අනාවරණය වන බව පොලිස් මූලස්ථානය පවසයි.

සැකකාර උප පොලිස් පරික්ෂකවරයාගේ නිවසේ තිබී එක් ලොරියක් ද මිහිරිගම ප්‍රදේශයේ ගරාජයක ගාල් කර තිබූ තවත් ලොරියක්ද සහ මරදගහමුල ප්‍රදේශයේ විකිණීමට තබා තිබු නවීන පන්නයේ මෝටර් රථයද එලෙස පොලිසිය භාරයට ගත් ඒවා අතර වෙයි.

 ගම්පහ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා, සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් වාහන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 12කි.