බෝතලේ රාජමහා විහාරස්ථානයේ වැඩ විසූ තරුණ භික්ෂූන් වහන්සේ නමකගේ සිරුර විහාර භූමියේ ළිඳක වැටී තිබියදී ඊයේ (27) සවස සොයාගත් බව මීරිගම පොලිසිය කියයි.

මෙසේ ළිඳේ වැටී අපවත් වී ඇත්තේ මාබෝපිටියේ ආනන්ද නමැති විසිපස් හැවිරිදි හිමි නමකි. මෙම හිමි නම පෙරේදා (26) සවස සිට ආගිය අතක් නොමැති ව ඇතැයි ද, ඒ අනුව සිදු කළ සොයා බැලීමේදී,
උන්වහන්සේගේ දේහය ළිඳේ වැටී තිබෙනු ඊයේ (27) සවස දැක ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

දේහය පිළිබද හදිසි මරණ පරික්ෂණය හෝ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව මීරිගම පොලිසිය සඳහන් කරයි. අසනීප තත්වයකින්ද පෙළුණු බව කියන මෙම හිමිනම ළිදේ වැටුණේ කෙසේදැයි හෙළි කර ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමෙන් අනතුරුව දේහය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කර මරණයට හේතුව අනාවරණය කර ගැනීමට නියමිත බව මිරිගම පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය. මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ පරික්ෂණ පැවැත්වේ.

(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)