ක්ෂපාන වාලමලෙයි වතු යායේදි මන්දකට හසු වී මිය ගිය කළු කොටියා වෙනුවෙන් අගතියට පත් පාර්ශ්වයක් වශයෙන් පෙනීසිටීමට ශ්‍රී බෝධි රාජ පදනමේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝහිත හිමියන් සහ තවත් පාර්ශ්වයක් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීම ලබන මස 28 දින දක්වා කල් තැබීමට හැටන් දිසා විනිසුරු
සහ මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා පෙරේදා (29) නියෝග කළේය.
ශ්‍රී බෝධිරාජ පදනම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් නඩුවට පෙනීසිටීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.


2020.05.26 දින ලක්ෂපාන වාලමලෙයි වතු යායේ එළවළු වගා භූමියක වතු කම්කරුවකු විසින් අටවා තිබූ මන්දකට හසු වී පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ දුර්ලභ ගණයේ කඳුකර කළු කොටියකු මියයාම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාලය මගින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කර තිබූ පැමිණිල්ලක් පෙරේදා කැඳවූ අවස්ථාවේ ශ්‍රී බෝධි රාජ පදනම සහ පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය අධිකරණය හමුවේ පෙනීසිටිමින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේය.

පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජීව ජාසිංහ මහතා කියා සිටියේ මෙම නඩුවට අදාළ දිවියා සම්බන්ධයෙන් 1982 අංක 12 දරන පොදු දේපළට අදාළ වැරැදි පිළිබඳ පනතේ සහ එහි සංශෝධනවල ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම සම්බන්ධවද විමර්ශන සිදුකර චෝදනා ගොනු කළ යුතු බවත්, දිවියාගේ වටිනාකම පිළිබද තක්සේරු වාර්තාවක් කැඳවීම සහ එයට අදාළ විමර්ශනයක් සිදුකරන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ. ට්‍රෝස්කි මහතා විවෘත අධිකරණය හමුවේ පැවසුවේ දෙපාර්ශ්වයම කඳුකර කොටියා ආරක්ෂා කර ගැනීමට හෝ මදු අටවන අය දැනුවත් කිරීමට හෝ වන සතුන් ආරක්ෂා කර ගැනීමට යම් ව්‍යාපෘතියක් මීට ප්‍රථම මෙම අධිකරණ බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කර ඇතිද යන වගයි.


 මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි නීතිඥයන් මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසුවේ මේ සදහා ව්‍යාපෘතියක් සකස් කර ඇති බවත්, එය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

දෙපාර්ශ්වයේ කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවට සම්බන්ධ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටීමට නියෝගයක් ලබා දීම ලබන 2020 ඔක්කතෝබර් 28 දිනට කල් තැබූ අතර, ඊට ප්‍රථම මේ සම්බන්ධයෙන් කරුණු තිබේ නම් ලිඛිතව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

(නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ)