ජීප් රථයකින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටිය දී අත්මාංවු සමග සැකකරුවන් දෙදෙනකු පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන්  බණ්ඩාරගම පොලිසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. රන් මාල කොල්ලකෑම සහ  යතුරුපැදි සොරාගැනීම
සම්බන්ධයෙන් පොලිසි කිහිපයකට අවශ්‍ය සිටි මෙම සැකකරුවන් දෙදෙනා පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික ඩබ්ලිව්.එම්.එස්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් බණ්ඩාරගම වැල්මිල්ල සති පොළ අසලදී අත්අඩංගුවට ගෙන ඉකුත් 22 වැනි දින බණ්ඩාරගම පොලිසිය වෙත භාරදී තිබිණි.

සැකකරුවන් දෙදෙනාත් තවත් සැකකරුවකු හා සැකකාරියකුත් මෙම පොලිස් කොස්තාපල්වරයා හා සිවිල් ආරක්ෂක නිලධාරිනිය විසින් අධිකරණය වෙත ගෙනයනු ලබදී ඉකුත් 23 වෙනි දින පානදුර අධිකරණය ආසන්නයේ  අතුරු මාර්ගයක දී පලාගොස් තිබිණි. වාහන තදබදයක් හේතුවෙන් පොලිස් ජීප් රථයේ වේගය අඩු කිරීමත් සමගම සැකකරුවන් දෙදෙනා සම්බන්ධ කර සිටි අතමාංචු දෙක  ගලබාගෙන ජීප් රථයේ දොර විවෘත කරගෙන පලා ගොස් තිබූ බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත. එම අවස්ථාවේදී සැකකරුවන් භාරව සිටි කොස්තාපල්වරයා ජීප් රථයේ ඉදිරිපස අසුනේ සිට ඇති අතර සිවිල් ආරක්ෂක නිලධාරිනිය පසුපස අසුනේ ගමන් කර ඇති බව විමර්ෂනවලදී අනාවරණය වී ඇත. පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-