කොළඹ කොටුව බාරොන් ජයතිලක මාවතේ නවතා තිබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් ලොරි රථයක පිටුපස ටයර් දෙක ගලවා ගෙන යාම සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල් රියැදුරෙක් පෙරේදා (25) කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.



රුපියල් ලක්ෂයකට අධික වටිනා මෙම ටයර් දෙක සැකකරුට අයත් කැලණිය ගෝනවල  ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් බව ද පොලිසිය කියයි.  මෙම ලොරි රථය වසරකට ආසන්න කාලයක් මෙම ස්ථානයේ නවතා තබා ඇති අතර එයට කිසිදු ආරක්ෂාවක් ද ලබා දී නොමැති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 මෙම සැකකරු ඉකුත් 21 දින රාත්‍රියේ තවත් පුද්ගලයකු සමග පැමිණ ලොරියට ආධාරක (ජැක්) සවිකර ටයර් දෙක මෙසේ ගලවාගෙන ගොස් ඇති බව එම උසස් නිලධාරියා සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව කොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ සී. සී. ටී.වී කැමරා පරික්ෂා කිරීමේ දී මෙම සැකකරු හඳුනාගෙන ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ නිවසේ තිබී මෙම ටයර් දෙක සොයාගත් බව ද පොලීසිය සඳහන් කරයි.

 ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශ අනුව සෙසු  සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ, කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා, සහකාර පොලිස් අධිකාරි කමල් කිරිඇල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාගේ  මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසූරිය, උප පොලිස් පරීක්ෂක වැලිවත්ත, සැරයන් (47826) රත්නායක, කොස්තාපල්වරුන් වන පෙරේරා (69844) ප්‍රේමලාල් (74988) යන මහත්වරු පරික්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. සැකකරුවන් ඊයේ (26) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

(ඉන්දිකා රාමනායක)