පෞද්ගලික ආයතනයක් මඟින් සිදුකෙරෙන රියැදුරු බලපත්‍ර සැකසීමේ කාර්යය ලබන වසරේ සිට ශ්‍රී ලංකා යුද හමුදාවට භාරදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රියැදුරු බලපත් සැකසීමේ කොන්ත්‍රාත්තුව 2009 දී පෞද්ගලික සමාගමක් වෙත පැවරීම නිසා ඒ එකක් සඳහා රුපියල් 1340ක් වැනි මුදලක් ගෙවීමට සිදුවූ බවත්, එයින් වාර්ෂිකව විශාල මුදලක් විදේශයට ඇදී ගිය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ බව සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී රියැදුරු බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීම සඳහා ඇති හැකියාව සොයා බලන බව අමාත්‍යවරයා කීවේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ප්‍රවාහන සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පෙරේදා (14) පැවැති සාකච්ඡාවක දීය. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ද අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

අඩු මුදලකට රියැදුරු බලපත්‍රයක් ලබාදීම, මෙතෙක් රටට අහිමි වූ විශාල මුදලක් රට තුළ ඉතිරි කරගැනීම, පෞද්ගලික සමාගමක් සතුවන තොරතුරු පද්ධතිය ආරක්ෂක අංශ වෙත රඳවාගැනීම යන අරමුණු ඇතිව ලබන වසරේ සිට රියැදුරු බලපත් සකස් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීමට අවධානය යොමු කර ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා මෙහිදී පැවසුවේ ඉතා අඩු මුදලකට රියැදුරු බලපත්‍රය සකස් කිරිමට හැකි බවත්, රුපියල් 1340ක් ඒ සඳහා වැය කිරීම අපරාධයක් බවත්ය. යුද හමුදාපති ලුතිනත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

- ඩයනා උදයංගනී -