මවු කුසයේදීම කොවිඩ්  ආසාදනය වූ බවට සැලකෙන බිලිඳියක් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ
රෝහලකදී උපත ලබා ඇත. දැරිය බිහිවී ඇත්තේද නියමිත දිනයට සති තුනකට පෙරය. ප්‍රසූතිය සඳහා

රෝහලට ඇතුළත් වී සිටි ගැබිනි මවට හුස්ම ගැනීමේ අපහසුතා සහ අධික උණ ඇති වූයෙන් කොවිඩ්-19 පිළිබඳ වෛද්‍ය පරීක්ෂාවට ඇය බ¾දුන් කරනු ලැබිණි. එහි ප්‍රතිඵලය අනුව ඇය ආසාදනය වී ඇති බව හෙළිවූයෙන් සූතිකාගාරයේ සිට කෙළින්ම දැඩි සත්කාර ඒකකය වෙතට යොමු කරන ලද බව වෛද්‍යවරු පවසති.
මේ අතර එක් දිනක් වයසැති දැරියද වයිරසයට ධනාත්මක බව පරීක්ෂාවන්ගෙන් අනතුරුව පෙනීගොස් තිබේ.
ඒ නිසා දරුවාගේ වැදෑමහ විශ්ලේෂණය කළ විද්‍යාඥයන් හට වයිරසයේ සලකුණු සහ ඉදිමීමේ ලක්ෂණ සොයාගැනීමට හැකිවී ඇත.
මේ කරුණු අනුව ඔවුන් එළැඹී ඇති නිගමනය වන්නේ දැරියට ගර්භාශයේ සිටියදීම වයිරසය ආසාදනය වී ඇති බවය. ඒ අනුව මෙම වයිරසයට වැදෑමහ හරහා පවා සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇතැයි විද්‍යාඥයෝ පවසති. කොවිඩ්  වසංගතය ආරම්භයේදීම ආසාදිත දරුවන් පිළිබඳව පර්යේෂණ ආරම්භ කළ නමුත් ඔවුන්ට රෝගය වැලදුණේ ගර්භාශය තුළදී ද නැතහොත් උපත ලැබීමෙන් පසුව රෝහලේදී ද යන්න තක්සේරු කිරීම අපහසු වී තිබිණි.