යාපනයේ කයිතඩි සිද්ධායුර්වේද විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු පෙරේදා (14දා) සවස කොරෝනා
ආසාදිතයකු බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.



මෙම ශිෂ්‍යයාට දින දෙකක් තිස්සේ අධික ලෙස උණ රෝගය වැලඳී තිබීමත් සෙම් සහිත තත්ත්වයක් පෙන්නුම් කිරීමත් නිසා ඔහු කොරෝනා ආසාදිතයකු ලෙස සැක කොට තිබේ. ශිෂ්‍යයා රෝහල්ගත කිරීමත් සමඟම
ආයුර්වේද විශ්වවිද්‍යාලය වසා දමන ලෙස දැඩි ඉල්ලීමක් සිසුන්ගෙන් පැන නැඟී ඇති අතර පාලන අධිකාරිය ප්‍රකාශ කොට ඇත්තේ ශිෂ්‍යයාට නියත වශයෙන්ම කොරෝනා රෝගය වැලඳී ඇති බවට නිගමනය වී නොමැති නිසා විශ්වවිද්‍යාලය වසා දැමීමට අවශ්‍යතාවක් නොමැති බවයි. මේ අතර කොරෝනා රෝගය වැලඳුණු බවට සැක කෙරෙන යාපනයේ බෝට්ටු හිමියකු පෙරේදා (14දා) සවස නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ මත්ද්‍රව්‍ය වෙළෙන්දන් සමඟ සබඳකම් පවත්වන යාපනයේ වඩමාරච්චි නැඟෙනහිර උඩුතුරෙයි වෙම්බඩි මුහුදු ප්‍රදේශයේ බෝට්ටු හිමියකු කොරෝනා රෝගයෙන් පෙළෙන බවට ලද තොරතුරක් මත නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ