හෝමාගම, පිටිපන ප්‍රදේශයේ ලී බඩු වෙළෙඳසලක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගත් ගිනි අවි 12ක් අත්අඩංගුවට ගැනීමට පෙර එහි තිබූ තවත් ගිනි අවි 7 ක් අතුරුදන්ව ඇති බව
විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග කියයි.
කොස්ගොඩ තාරක නැමැත්තාට අයත් ගිනි අවි 19ක් ඉකුත් මැයි මාසයේ දැනට අත්අඩංගුවේ පසුවන “පොට්ට කපිල" නැමැත්තාට බාර දී ඇති අතර එම ගිනි අවිවලින් ගිනි අවි 7ක් ඔහු වෙනත් පුද්ගලයන් අතරට පත්කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි. බන්ධනාගාර බස්රථයකට පහර දී එම බස්රථයෙන් රැගෙන යන ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු ඝාතනය කිරීමේ සැලැස්මක් සදහා මෙම ගිනි අවි යොදා ගන්නට සුදානමක් තිබු බව ද තොරතුරු ලැබී ඇති බව ද එම බළකාය පවසයි.

ගිනි අවි 7ක් වෙනත් පුද්ගලයන් අතට පත් කිරීමෙන් පසු ඉතිරිව තිබුණේ ගිනි අවි 12ක් පමණක් බව විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවසීය.  කොස්ගොඩ තාරක නැමැත්තාගේ උපදෙස් පරිදි මෙම ගිනි අවි 7ද පිටකර තිබුණේ කුමන පුද්ගලයකුට ලබා දෙන්නදැයි යන්න පිළිබඳව විශේෂ කාර්ය බළකාය පරික්ෂණ පවත්වයි.

ඉතිරි ගිනිඅවි 12කාට බාර දෙන්නද? යත්න පිළිබඳව කොස්ගොඩ තාරක නැමැත්තා ගෙන් නිසි උපදෙසක් ලැබී නොතිබීම හේතුවෙන් සැකකරුවන් මෙම ස්ථානයේ ගිනි අවි සඟවාගෙන සිට ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

කොස්ගොඩ තාරක නැමැත්තා දරුණු සිරකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ
රඳවා සිටීම හේතුවෙන් එහි දුරකථන පහසුකම්වලට බාදා කරන උපකරණ සවිකිරිම නිසා (ජෑමර්) දුරකථන පහසුකම් ලබා ගැනීමට නොහැකිවීමෙන් මොවුන්ට තාරකගෙන් නිසි උපදෙස් ලැබී නොමැති බව ද විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග කියයි.  මෙම ගිනි අවි සඳහා කොස්ගොඩ තාරකගෙන් නිසි උපදෙස් ලැබෙන තෙක් කිසිවකුට සැක නොහිතන ලෙස මොවුන්ට මේවා සංගවා තබන්නට ඇති බව ද විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග කියයි. අත්අඩංගුවට ගත් මෙම කිසිදු ගිනි අවියක මැගසින් තිබී නොමැත.

මේ අතර ටී 56 ගිනි අවි 11 හා ටී 81 වර්ෂයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියේ පරික්ෂණ විශේෂ කාර්ය බළකාය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදුන් බව විශේෂ කාර්ය බළකාය කියයි.

කළුතර බන්ධනාගාර බස්රථයකට මීට වසර කිහිපයකට පෙර එතනමඩල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාර එල්ල කර පාතාල සාමාජික සමයං ඇතුළු පිරිස සාතනය කළ ආකාරයට බන්ධනාගාර බස් රථයකින් ප්‍රවාහනය කරන ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කර එම අපරාධකරු ඝාතනය කිරීම මොවුන් සුදානමක් තිබී ඇති බවට දැනට සිදුකරන ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇති බව විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

(ඉන්දිකා රාමනායක)