මුල්ලේරියාව පොලිසියට ඉන්දියාවෙන් පැමිණි ඇමැතුමකි. අදාළ ඇමැතුමට පිළිතුරු දුන්නේ මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපතිවරයාය. මුල්ලේරියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් සම්බන්ධව විමර්ශන කරමින් සිටිනා ස්ථානාධිපතිවරයා, මෙකී ඇමැතුම පැමිණෙන කාලයේ
විමර්ශන කරමින් සිටියේ 2017 වසරේ උඩුමුල්ල ව්‍යාපාරික ස්ථානයකට පැමිණ ටී 56 අවියකින් වෙඩි තබා, බිය ගැන්වීමක් සම්බන්ධවය. එලෙස බිය ගැන්වීමට හේතුව වූයේද ඉල්ලූ කප්පම් මුදලක් නොදීමයි.*

“සර්, අපි කප්පම් ඉල්ලන්නේ අපිට අපේ වැඩවලට සල්ලි ඕන නිසා. සර්ලා ඒවාට පනින්න එපා. මම
ආපහු කියන්නේ නෑ. නිකම් තියෙන (අසභ්‍ය වචනයකි) එකේ ටිංකිරි ගාගන්න ඕන නෑනේ සර්. සර්
කරුණාකරලා අපිට අපේ වැඩ කරගන්න දීලා පැත්තකින් ඉන්න...”

“මොකාද යකෝ මේ කතා කරන්නේ....මේ මුල්ලේරියාව පොලිසිය...”

“මම අංගොඩ ලොක්කා. මම දන්නවා මම කොහේටද කතා කරන්නේ කියලා. සර්ලා තමයි දන්නේ නැත්තේ
කොහේටද කතා කරන්නේ කියලා...”

ස්ථානාධිපතිවරයාගේ දැනුමේ හැටියට මේ කතා කරනා මොහොත වෙද්දී අංගොඩ ලොක්කා නමැත්තා සිටින්නේ ඉන්දියානු බන්ධනාගාරයකය. ඉන්දියාවේදී ආගමන විගමන වංචාවකට හසුව බන්ධනාගාරගත වූ අංගොඩ ලොක්කා මේ තර්ජනය කරන්නේ ඔහුගේ කප්පම් හා පාදඩ ක්‍රියා දිගින් දිගටම කරගෙන යන්නට නිල අවසරය ඉල්ලමිනි.

පස් සෝදා වැලි විකිණීමේ ජාවාරම, පහත් බිම් ගොඩ කිරී‍ම් ජාවාරම්වලින් කරළියට එන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා රටේම අවධානයට ලක්වන්නේ සමයං ඝාතනයත් සමඟිනි. කළුතර- එතනමඬලදී බන්ධනාගාර බස්රථයකට වෙඩි තැබූ කතාව අපි නැවැත නැවැත ලිවිය යුතු නැත. එකී
මහා අපරාධය සිදුකරන්නේ අංගොඩ ලොක්කාය. මාකඳුරේ මධුෂ්ද එහි එක් පාර්ශ්වයක් වූයේ, මධුෂ්ට හා ලොක්කාට පොදු සතුරකු වූ සමයංට එරෙහිවය. අංගොඩ ලොක්කා සමයං සමඟ දේශසීමා අරගලයකට එන්නේ කුඩු ජාවාරම නිසාය. ලොක්කාට හයියට සිටියේ අතුරුගිරියේ බාල්දි ප්‍රියන්ත, ලඩියා ඇතුළු කණ්ඩායම්ය. මේ සියලු කල්ලිවලට ප්‍රබල තර්ජනයක් වූයේ රණාලේ සමයංය. සමයං ප්‍රබල වන්නට වූයේ පාතාලයේ
ගෝඩ්ෆාදර් වන්නට වෙර දැරූ මාකඳුරේ මධුෂ්ටද අභියෝග කරමිනි.

ඒ නිසාම සමයං අහවර කරන්නට මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කා එකට එක්වූහ.

මධුෂ් හා අංගොඩ ලොක්කා අතර මිත්‍රත්වය ඉතා පැරැණි එකකි. 1985 වසරේ නොවැම්බර් 13 වැනිදා
උපන් අංගොඩ ලොක්කාගේ දැන් වයස අවුරුදු 35ක් පමණ වේ. අංගොඩ බෝගල පාරේ පදිංචිව සිටි ඔහු කරළියට එන්නේ 2011 වසරේදීය. 2010 වසරේදී අපොස සා/පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව
බන්ධනාගාර නිලධාරියකු ලෙස සේවයට එක්වන්නට චන්දන ලසන්ත පෙරේරා අයැදුම් කළේය. ලියුම්කරුගේ දැනගැනීම අනුව, චන්දන ලසන්ත අදාළ සම්මුඛ පරීක්ෂණයෙන්ද සමත් විය. ඉන් පැහැදිලි වන කාරණයක් වන්නේ, 2011 වසරේ මුල වන තෙක්ම චන්දන ලසන්තට පොලිස් වාර්තාවක් ගැනීම ගැටලුවක් නොවූ බවය.
එනම්, ඔහුට ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ කිසිදු චෝදනාවක් ගොනුව නැත. මිනිසුන් සැලසුම් කරද්දී
දෙවියන් සිනහා වෙනවා යැයි ඉතාලි කියමනක් වේ. ලසන්තටද එය එසේම විය.

තමන්ට කලක් තිස්සේ වධයක් වූ අංගොඩ මෝචා හෙවත් චන්දන පුෂ්පකුමාර නමැත්තා සමඟ ගැටුමකට ලසන්ත මැදිවේ. ලසන්තගේ කුඩා කල සිටම මිත්‍රයා වූයේ සුරංග කුමාර පෙරේරාටද (අංගොඩ රත්තරං ලෙස
පසුව කරළියට එන්නේ මොහුය) මෝචාගෙන් බරපතළ තර්ජන තිබිණි. මෝචා යනු කරාටේ ධම්මිකගේ කල්ලියේ සිටි, අංගොඩ මුල්ලේරියාව ප්‍රදේශයේ චණ්ඩියකු වීමට දැඟලූ අයෙකි. ලසන්තගේ සමස්ත කතාවම වෙනස් කරමින්, අංගොඩ රෝහලට දෙසට යමින් සිටි චන්දන පුෂ්පකුමාර නොහොත් මෝචා 2011 වසරේ ජනවාරි 18 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරිණි. ඔහු සමඟ සිටි රසික ලක්මාල් නම් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු විය. ඒ ගැන ඇඟිල්ල දිගු වූයේ අප කතානායකයා වූ ලසන්ත දෙසටය. 2015 මැයි 26 වැනිදා,
සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මුල්ලේරියාව අංගොඩ දී කළ වැටලීමකදී, ගිනි අවි සමඟ
ලසන්ත හසුවිය. ටී 56 ගිනි අවියක්, එම උණ්ඩ 29ක්, එම මැගසින් එකක්, මිලිමීටර නවය වර්ගයේ
පිස්තෝලයක්, එම උණ්ඩ හයක්, කඩු දෙකක් ඇතුළු අවි ආයුධ සමඟ සැකකරු භාර කෙරුණේ මුල්ලේරියාව පොලිසියටය. ලසන්තව ආපසු රිමාන්ඩ් කරනු ලැබීය. ලසන්තට මුලින්ම මධුෂ් හමුවන්නේ මෙකී රිමාන්ඩ් කාලයේය.

මුලින් කී සමයං ඝාතනයට ලසන්තව පොලඹවන්නේ, ලසන්තගේ කුඩා කල මිතුරා වූ සුරංග කුමාර පෙරේරා හෙවත් අංගොඩ රත්තරං ඝාතනය කිරීම නිසා බව කියැවේ. එකී ඝාතනය සිදුකරන්නේ සමයං පාර්ශ්වය විසිනි. සමයං විසින් රත්තරං ඝාතනය කරන්නේද, සමයංගේ සතුරා වූ අංගොඩ ලොක්කා තම ගුලෙන් පිටතට පැමිණ මිතුරාගේ අවසන් කටයුතුවලට සහභාගි වේ යැයි බලාපොරොත්තුවෙනි. එහිදී ලසන්තව ඝාතනය කිරීමේ අපේක්ෂාවෙනි. එහෙත් ලසන්ත ගුලෙන් එළියට එන්නේ නැත. ඉන් අනතුරුව ලසන්තගේ තවත් මිතුරකු වූ බණ්ඩාර නමැත්තකුද ඝාතනය කරන්නේ අතුරුගිරිය මහජන බැංකුවේ ඉහළ මහලේ වූ
රූපලාවණ්‍යාගාරයකදීය. මේ සියල්ලෙන් විස්සෝප වෙමින් සිටි ලසන්ත, තම අවසන් වෙර සියල්ල එක්කාසු කර එක් මිටකට යොදා, වෙඩික්කරුවන් 20ක් සමඟ බන්ධනාගාර බස් රථයට පහර දී සමයං හා සමයංගේ
වෙඩික්කරුවන් රෑනම එකම තැනකදී මරා දමයි.

සමයං නමැති පාතාල සාමාජිකයා විසින්,මාකඳුරේ මධුෂ්ගේ අතිජාතයකු වූ හර්ෂ යසස් ඝාතනය කළා යැයි යන වැටහීම නිසා මධුෂ්ද ලොක්කා විසින් සමයං ඝාතනය කිරීමට උපකාර කරන්නට පොරොන්දු වේ. ඒ අදාළ ඝාතනයෙන් පසුව ලොක්කාව ඩුබායි වෙත ගෙන්වා ගන්නා බවට පැවැසීමෙනි.

සමයං ඝාතනය කර තම වෛරය පිරිමසාගත් ලසන්ත හෙවත් අංගොඩ ලොක්කා  ඝාතනයත් සමඟ ඉන්දියාවට පැනගත්තේ ඒ වනවිට පණ පිටින් සිටි තම මිතුරා වූ ලඩියාද රැගෙනය. ඉන්දියාවෙන් ඩුබායිවලට ගෙන්වා ගන්නා බව සමයං ඝාතනයට පෙර මධුෂ් පොරොන්දු වුවත් ලොක්කාට ඉන්දියාවේම රැඳී සිටින්නට සිදුවිණි.
හොර පාස්පෝට් නිසා ඉන්දීය පොලිසියට කොටුවූ ලොක්කාට හා ලඩියාට එරට හිරගෙදර තපින්නටද සිදුවිය.
මුල්ලේරියාව පොලිසියට ඉන්දියානු බන්ධනාගාරයක් තුළ සිටම දුරකථන ඇමැතුමක් දෙන්නට තරම් ලොක්කාගේ මිතුරා වූ ලඩියා වැඩ්ඩෙකු විය. ලොක්කාට අවශ්‍ය දුරකථනය සොයාදෙන්නේ ඔහුය. පසුව හිරෙන් එළියට එන අංගොඩ ලොක්කා ඉන්දියාවේම රැඳී සිටිමින් යළි තම බලය ව්‍යාප්ත කරන්නට විය.

කෙසේ හෝ පසුව තම පොරොන්දුව ඉෂ්ට කරමින් මධුෂ් විසින් ලොක්කා හා ලඩියා ඩුබායි වෙත ගෙන්වාගත් වග සනාථ වන්නේ මධුෂ් අත්අඩංගුවට ගන්නා සාදයට ලොක්කාද සහභාගි වන්නට නියමිතව තිබූ බැවිනි. එදින ඩුබායි පොලිසිය විසින් මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තද, එතැනින්ද බේරී යන්නට ලොක්කාට හැකි විය. ඩුබායි සිටියේ මධුෂ් එහි සිටි බැවින් හා තමන්ට ඩුබායි නුපුරුදු බැවින්, මධුෂ් මෙරටට පිටුවහල්
කිරීමත් සමඟ අංගොඩ ලොක්කා නැවත පැමිණෙන්නේ ඉන්දියාවටමය.

ඉන්දියාවේ සිට ලොක්කා තම ගෝලයන් මෙහෙයවා මෙරට කප්පම් ගැනීම්, පස් ජාවාරම්, කුඩු ජාවාරම් ඇතුළු සියලුම නීතිවිරෝධී දෑ කරවන්නට විය. තම අණට අවනත නොවන්නන් දෙවතාවක් නොසිතා මරා දැම්මේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලොක්කා දිනෙන් දින ධනවතකු විය. කෝටි ගණනින් මුදල් එක්රැස් කරමින් අංගොඩ ලොක්කා සැපවත් ජීවිතයක් ගෙවන්නට විය. අවම තරමින් ඔහුගේ හරිහමන් ඡායාරූපයක් පවා මෙරට නීති අංශ සතු වූයේ නැත.

මාකඳුරේ මධුෂ්ව අල්ලා මෙරටට රැගෙන ඒමත් සමඟ මධුෂ්ගේ පාතාල කල්ලිවල බලයත් ගිලිහී යමින්
තිබුණේය. ඒ ඔවුන්ට අණ දුන් නායකයා සමඟ දුරකථන මඟින්වත් සම්බන්ධ වීමට නොහැකි වූ නිසාය. එයින් ප්‍රයෝජන ගත්තේ අංගොඩ ලොක්කාය. අංගොඩ ලොක්කා මධුෂ්ගේ කුඩු ජාවාරමත් අතට ගත්තේය. ඒ සඳහා ලොක්කා මුලින්ම තමන්ට යට කරගත්තේ මධුෂ්ගේ බිරියය. ඇය නමින් දිලිනි ඉෂාරාය. එකල දුටුවන් මන බන්දන රූපයකින් හෙබි ඇය, මහරගම හොල්ලාගෙන සිටි පාතාල කල්ලි නායකයකු වන කළු තුෂාරගේ විවාහක බිරියය. කළු තුෂාර හෙවත් තුෂාර චන්දන යනු, වාර්තා පොත් අනුව නම් මිනීමැරුම් හා
මත්ද්‍රව්‍ය චෝදනා රැසකට කරගැසූවෙකි. කළු තුෂාරගේ නීත්‍යනුකූල බිරිය වන දිලිනි ඉෂාරා, මධුෂ්ගේ
අනියම් බිරිය බවට පත්වන්නේ 2012 වසරේ නොවැම්බර් 09 වැනිදා වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී
මරුමුවට පත්වූ රැඳවියන් අතර කළු තුෂාරද සිටි බැවිනි. කළු තුෂාරගේ මරණින් පසු අසරණ වන දිලිනි ජීවත්වීමේ අරගලයට මුහුණ දෙන්නේ සිය සැමියාගේ අඩි පාරේ යමිනි. ඇයට කන්නට බොන්නට දෙන්නට දරුවකුද විය. ඇය මත්කුඩු ජාවාරම් කළාය. මහා පරිමාණ බූරු පොළවල්ද සංවිධානය කළාය. එකල මාකඳුරේ
මධුෂ් සිටින්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේය. ඒ, එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ විමර්ශනයකට අදාළවය. මධුෂ් 2014 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාරයෙන් මුදා හැරෙන්නේ එකී ඝාතන චෝදනාව ඔප්පු කිරීමට තරම් සාක්ෂි රැස් කරගන්නට අපොහොසත් වීම මතය. ඒ අනුව අධිකරණයෙන්ද කොල්ලකෑම් නඩු 09කට එකවර ඔහුට ඇප ලැබිණි. ඇප මත නිදහස ලබා මාස දෙක තුනකට වඩා මධුෂ් මෙරට රැඳී සිටියේ නැත. සියල්ලන්ගේම ඇස් වසා මධුෂ් ඩුබායි පනින්නේ අජිත් වර්ණකුලසූරිය නමින් පෙනී සිටිමිනි. එසේ ඩුබායි පැනගත් ඔහු 2015 වසරේ මාර්තු 12 වැනිදා සිය
මිත්තණියට අවසන් ගෞරවය දක්වන්නටද පැමිණ තිබුණේද හොර රහසේය. මාකඳුරේ මධුෂ් ඇහැට කනට පෙනෙන කළු තුෂාරගේ බිරිය ලංකාවෙන් ගෙන්වා ගන්නේ මුහුදු මාර්ගයෙන් තම ආච්චි අම්මාගේ මළ ගෙදරට පැමිණ යන මොහොතේ දැකගත් පසුවය. මධුෂ් අත්අඩංගුවට පත්වීමත් සමඟ එහෙව් දිලිනිව තම අඹුව
කරගනිමින් ලොක්කා මධුෂ්ගේ කුඩු රාජධානිය තමන් සතු කරගත්තේය.

එයින් නොනැවතී කොළඹ කේන්ද්‍ර කරගත් මහා පරිමාණ ඉදිකිරීම් සියල්ලේම පොළොවෙන් හෑරෙන පස් සියල්ල ගෙන ගියේ වැල්ලම්පිටිය, මුල්ලේරියාව, අංගොඩ හා කඩුවෙල පිහිටි ලොක්කාගේම පස් සෝදා වැලි විකුණන තිප්පොළවල්වලටය.

මෙම ජාවාරම දිනෙන් දින මුදල් ගලන උල්පතක් විය. එහිදී ඉතිරි වන පස් පහත් බිම්වලට දමා ඒවාද
ගොඩකර දැමිණි. වගුරු බිම් ගොඩ කිරීම තහනම් වුවද ලොක්කා ඉන්දියාවේ සිට නියෝග දෙමින් කැලණිමුල්ල, අංගොඩ, මුල්ලේරියාව ඇතුළු පහත් බිම් ගොඩකරන්නට විය. ඒවායේ හිමිකරුවන් බිය වද්දා ඉඩමම පුරවා දමා පසුව විකුණා දමන්නේ පර්චසයක් ලක්ෂ දහයක් වැනි මිලකටය. රැගෙන එන කුණු හා වැලි සෝදා
ඉවත් කරන ගල්, වගුරු බිම් මත පුරවා, ඒ මතින් පස් දමා, විකුණා දැමීම මොවුන්ගේ ජාවාරමය. ඉඩම්
මිලදී ගන්නට ව්‍යාපාරිකයන් සොයාගන්නේත් අංගොඩ ලොක්කාමය. ගනුදෙනුව ඉන්දියාවේ සිට මෙහෙයවා කෝටි ගණනක් තමා දෙන ගිණුම්වලට දමාගෙන ඉඩම් හිමිකරුවන්ට සොච්චමක් දීම ලොක්කාගේ පුරුද්දය.

එලෙස පුරවාගෙන පුරවාගෙන යන අතරේ, වරක් අංගොඩ ලොක්කා අතුරුගිරිය ප්‍රදේශයේ වගුරුබිමක් ගොඩ
කරන්නට තීරණය කරයි.  එය පුරවන්නට ලොක්කා නියෝග කළේ මීපේ පස් සුමේධ නමැති හිර ගෙදරදී
හඳුනාගත් පස් ව්‍යාපාරිකයකුටය. ලොක්කාගෙන් බේරෙන්නට පස් පුරවන්නට ගත් සුමේධගේ ලොරි හා රියැදුරන් අතුරුගිරිය පොලිසිය ඇල්ලීමත් සමඟ සුමේධ එය අත්හැරියේය. නමුත් ලොක්කා ඉන්දියාවේ සිට
ඉක්මනින් ඉඩම ගොඩ කරන්නැයි සුමේධට බැන වැදුණේය. ලොක්කා සමඟ උරණ වූ ඔහු පුළුවන් දෙයක් කරන්නැයි ඔහුට කීවේය.
දෙදෙනාගේ වාග් ප්‍රහාර අවසන් නින්ද දක්වා දුරදිග යන්නේ හංවැල්ල පහත්ගම පිහිටි සුමේධගේ නිවසට අවි ආයුධවලින් සන්නද්ධව පැමිණි ලොක්කාගේ ගෝලයන් සුමේධගේ බිරිය හා දරුවන් තම ග්‍රහණයට ගෙන, සුමේධගේ බිරියටම කියා දුරකථන ඇමැතුමක් දී සුමේධව එතැනට ගෙන්වා මරා දැමීමෙනි. සුමේධ හෙවත් විජිත ප්‍රේමලාල් හා ඔහුගේ ගෝලයා වූ රවිඳු ලක්ෂාන් එක තැනම මරා දමන්නේ අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට දුන් නියෝග මතය. ඝාතනයෙන් පසු අනාවරණය වන්නේ  සුමේධ භාරගෙන සිටි පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයට හා මහනුවර අධිවේගී මාර්ගයට පස් ලොරි 8,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව තමාට දෙන ලෙසද අංගොඩ ලොක්කා තර්ජනය කර තිබුණු බවයි.

පස් සුමේධ ඝාතනය කළ පසු අංගොඩ ලොක්කා අත තැබුවේ තවත් කෝටි ගණනක ඉඩමකටය. ඌරුබොක්ක,බෙරලපනාතර සමුපකාර සමිතියේ අධ්‍යක්ෂවරයකු වූ සුරංග ලක්මාල් නමැති කෝටිපති ව්‍යාපාරිකයාව හදිසියේම අංක තහඩු නැති සුදු වෑන් දෙකක් යොදා පැහැර ගැනිණි. ඔහු වැල්ලවත්තෙන් මිලදීගත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම තමාගේ නමට ලියන්නැයි අංගොඩ ලොක්කා දුන් නියෝගයකට අකැමැති වීම හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුවිණි. නමුත් ඌරුබොක්ක පොලිසිය කොට්ටාව පොලිස් වසමේදී පැහැරගත් ව්‍යාපාරිකයාව මුදා ගැනීමත් සමඟ අංගොඩ ලොක්කාගේ වෑයම ව්‍යර්ථ විය.

මෙලෙස රට පුරාම තම නොනවතින ධන ලෝභීත්වය පැතිරවූ චන්දන ලසන්ත හෙවත් අංගොඩ ලොක්කා විසක් ශරීරගතකොට ඝාතනය කර ඇති බවට ගත වූ සතියේ වාර්තා විය. අංගොඩ ලොක්කා ඝාතනය වූ බවට වූ පුවත ගතවූ සතියේ මුද්‍රිත මාධ්‍ය හරහා ජනගත විය. අදාළ ඝාතනය සම්පූර්ණයෙන්ම අංගොඩ ලොක්කාගේ දැඩි පාලනයට නතුව සිරවී සිටි කාන්තාවන් තිදෙනකු විසින් සැලසුම් කර සිදුකළ එකක් බව ඒ සමඟම කියවිණි.

බැංගලෝරයේදී ඝාතනයට ලක්වූ බව කියන ලොක්කාගේ අවසන් කටයුතු තමිල්නාඩුවේ කොයිම්බතූර්හිදී සිදු වූ බවද පැවැසිණි.
නමුත් මෙරට පොලිසිය පවා තවමත් මෙම තොරතුරු කිසිවක් සනාථ කරන්නේ නැත. මෙරටේ ප්‍රමුඛ බුද්ධි අංශ වන සන්නද්ධ බුද්ධි හා රාජ්‍ය බුද්ධි සේවා පවා තවමත් සිටින්නේ අදාළ පුවත පිළිබඳව දැඩි
විමසිල්ලෙනි. ඒ මේ පුවත තවමත් තහවුරු නොවූ නිසාය. ආරක්ෂක බුද්ධි අංශ විදේශ අමාත්‍යාංශයේ හා ඉන්දියානු රජයේද සහාය ලබාගෙන ඒ පිළිබඳ හරි හෝඩුවාවක් ලබා ගන්නට උත්සාහ දරමින් සිටී.
ජුනි මස මුල් සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාතාල මර්දන වැඩසටහන යටතේ
ආරක්ෂක ලේකම්වරයා විසින් නියෝග කර තිබුණේ විදෙස් රටවල සිට මෙරට පාතාලය මෙහෙයවන තැනැත්තන්
ජාත්‍යන්තර පොලිසියේ හා අදාළ රටවල තානාපති අංශවල උපකාර රැගෙන අත්අඩංගුවට ගන්නා
ලෙසය. එලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රධාන තැනැත්තකු වූයේ අංගොඩ ලොක්කා හෙවත්
ලසන්තය. මින් පෙරදී මෙරට පාදඩ ලෝකයේ සාමාජිකයන් බන්ධනාගාරගත වන්නට බිය වූයේ නැත. තමන්ට තම ක්‍රියාකාරකම් සියල්ල සිදු කරගෙන යන්නට බන්ධනාගාරය තුළදී ඇති පදම් නිදහස ඇති බව ඔවුන් දත්තේය. නමුත්, වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ නියෝග පරිදි විශේෂයෙන් සකස් කළ බූස්ස බන්ධනාගාරයේදී එම සැප නොමැති බව පාදඩයන් දැන් වටහාගෙන තිබේ.
අංගොඩ ලොක්කාද එලෙස වටහාගත් එක් අයෙකි. ඒ අනුව අංගොඩ ලොක්කාද, තමන්ගේ මෙරට ජාලය බලා කියාගන්නට ඔහුගේ විශ්වාසවන්තයකුට භාරදී මුහුණ කට වෙනස් කරගෙන සැඟව ගියේද යන්නද සිතා බැලිය යුතුය. අංගොඩ ලොක්කාගේ පියා උපුටා දක්වමින් ගත වූ සතියේ විද්‍යුත් මාධ්‍ය වාර්තා කරද්දී, පියාගේ කටින් කියවුණු, අංගොඩ ලොක්කා රිය අනතුරකට ලක්ව රෝහල්ගත කර සිටි බවක් ඇසිණි. ප්ලාස්ටික් සැත්කමකට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත වන්නට හොඳම “හේතුවක්” වන්නේ “රිය අනතුරක්”ය යන්නයි.

එබැවින් මෙහි සියලු කොන් ගැන සිතා බැලිය යුතුය. රටම ලෙයින් නහවා සිය පාදඩ ක්‍රියා සිදුකර දැන්
රටම මෝඩයාට අන්දවා පැනයන්නටත් ඉඩ නොදීම සියල්ලන්ගේම වගකීමකි. රටම අන්දා ද්විත්ව චරිත රඟපානා අපරාධකරුවන්ට මෙය අදාළ වනු ඇත. පාතාලය හා ඒ වටා ඇති දූෂිත බලවේග ගැන අප සියලු හෙළිදරව් කිරීම් කරනුයේ රටේත් ජාතියේත් යහපත ආරක්ෂාව හා අනාගත පරපුරේ සුරක්ෂිතභාවය උදෙසාය.

එහිදී පාතාලය හා සම්බන්ධව දූෂිත බලවේගයන් වෛරය පතුරුවන්නට කුරුමානම් අල්ලමින් සිටී. ඒ අනතුරු සංඥාව පිළිබඳව විමසිලිමත්වීම වගකිවයුත්තන්ට භාරය. ඒ කිසිවකින් නොසැලී අප කළ හෙළිකරීම්, ඉටු කළ ජාතික වගකීම් අද වන විට පලදරා තිබීමේ ගෞරවය මුළුමනින්ම හිමිවිය යුත්තේ පාඨක ඔබටය. 

-ප්‍රසාද් අබේවික්‍රම