නිජතෙල් සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර අඟූණුකොළපැලැස්සට ගමන්කරමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා ස්ථානයක ඇති පිරවුම් මධ්‍යස්ථානයකින් ඩීසල් පුරවාගෙන ඇත. එම ඩීසල්වලට ජලය මිශ්‍රව තිබීම සම්බන්ධයෙන්
පරීක්ෂණයක් සිදු කෙරේ.
කෙසේ වෙතත් එම පරීක්ෂණයද යට ගැසීමේ උවමනාවෙන් ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇත.
ඇමැති අමරවීරගේ රථයට ජලය මිශ්‍ර ඩීසල් පිරවීමේ සිද්ධිය පිළිබඳ කෙරෙන පරීක්ෂණ සඳහා අදාළ පිරවුම්හළ මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දී ඇත්තේ වෙනත් භූගත ටැංකියකින් ගත් ඩීසල් සාම්පලයක් බවට අනාවරණය වී ඇත.
මෙම පිරවුම්හලේ භූගත ඩීසල් ටැංකි දෙකක් ඇතැයිද පරීක්ෂණය පිණිස ඉන්ධන සාම්පලය ලබාදී ඇත්තේ ඇමැතිවරයාගේ මෝටර් රථයට පිරවූ ඉන්ධන ඇති භූගත ටැංකියේ තෙල් නොවන බවද ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

සැක සහිත භූගත ටැංකියේ ඉන්ධනවලට ජලය මිශ්‍රව තිබුණානම් පිරවුම්හළ විසින් මේවන විටත් ඒවා ඉවත්කර ඇතැයි සැක කරන බවද කී හෙතෙම මෝටර් රථයේ ඉන්ධන ටැංකියට ඩීසල් සමග මිස වෙනත් ආකාරයකට ජලය මිශ්‍රවීමේ හැකියාවක් නැතැයි එය මිලට ගත් ආයතනය විසින් දැනුම්දී තිබෙන බවද කීය.

•අජිත් අලහකෝන්