පසුගිය 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කළ ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැඟිල්ල පිහිටි පරිශ්‍රයේ පවත්වාගෙන යන ‘බුවනෙක හෝටලය’ නැමති ගොඩනැඟිල්ලේ කටයුතුවලට අදාළ සියලු
ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට හා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ඊයේ  (28) නියෝග කර තිබේ.


මෙම පෞරාණික ගොඩනැඟිල්ලේ ස්මාරකයට හා පෞරාණික කාණු පද්ධතිය විනාශ කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා ‘බුවනෙක හෝටලය’ ගොඩනැඟිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර රැස්වීම්වලට අදාළ වාර්තා අවශ්‍ය වී අතැයි කියමින් නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීම් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කර ඇත.

‘බුවනෙක හෝටලය’ ගොඩනැඟිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාටද වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා වහාම, අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාටද නියම කර ඇත.

බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන මෙම පෞරාණික ගොඩනැඟිල්ලේ ස්මාරකයට හා පෞරාණික කාණු පද්ධතියට විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කළ පැමිණිල්ලකට අනුව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන ආරම්භ කොට ඇත.

කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුලතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව එම නඩුව කැඳවන ලදී.