පන්සල් ඇතුළු ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදුණු අපේක්ෂකයන් පස් දෙනකුට විරුද්ධව මීමන අරඹා ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

 මෙයට අමතරව මැතිවරණ නීති කඩ කරමින් මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වූ අපේක්ෂකයන් දෙදෙනකුට විරුද්ධවද විමර්ශන අරඹා ඇතැයි මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (21) පැවැසීය.
මැතිවරණ ප්‍රචාරක රැලි සංවිධානය කිරීම, මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයෙන්ද නිර්දේශ කර නොමැත.

මේ අතර ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීම හා විවිධ ස්ථානවල භාණ්ඩ බෙදීමේ චෝදනා සම්බන්ධයෙන් ඇතැම් අපේක්ෂකයන්ට විරුද්ධව පැමිණිලි විශාල වශයෙන් ගලා එමින් තිබෙන බව මැතිවරණ කොමිසමේ නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් අපේක්ෂිකයන් කිහිප දෙනකුට අවවාද කර ඇතැයිද එම නිලධාරිහු කියති.  මැතිවරණ ප්‍රචාරණ හෝ ප්‍රවර්ධන කටයුතු සඳහා කිසිදු ආගමික ස්ථානයක් හෝ ආගමික ස්ථානයකට අයත් භූමියක්
හෝ දේපළක් භාවිත කිරීම තහනම් බව සියලු අපේක්ෂකයන්ට දැනුම් දෙමින් මැතිවරණ කොමිසම ඉකුත් ජුනි මස 3 වැනිදා දාතමින් ගැසට් පත්‍රයක්ද නිකුත් කළේය.

 (සුජිත් හේවාජුලිගේ)