අප්‍රිකානු කලාපය තුළ COVID-19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන්, එම රටවල සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා හදිසි උපකාර අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහන් විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.
ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍ය මයික් රයන් මෙම අදහස් පළ කළේය. ඔහු සඳහන් කරන්නේ කලාපයේ රටවල් කිහිපයක ආසාදිතයන් සංඛ්‍යාව තවමත් අඩු මට්ටමක පැවතුණද, පසුගිය සතියේදී ආසාදිතයන් වැඩිවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පැවැති බවය.

"අප්‍රිකානු කලාපය තුළ වසංගතය වේගවත් වීමක් දක්නට ලැබීම ගැන මා දැන් ඉතා සැලකිලිමත් වෙනවා"වෛද්‍ය රයන් පැවසීය. "අප සියලු දෙනා එය ඉතා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුයි. මේ මොහොතේ සිද්ධීන් ඉහළ යමින්, වැඩි ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් අත්විඳිය හැකි රටවලට සහයෝගය දැක්විය යුතුයි. මොකද ඒ රටවල් බොහෝමයක් පවතින්නේ අස්ථාවරත්වය හා ගැටුම් මධ්‍යයේයි."

"ඒ වගේම දකුණු අප්‍රිකාව ඉතා දරුණු අවස්ථාවකට මුහුණ දී සිටිනවා. තවදුරටත් ආධාර සැපයීම සඳහා හදිසි පියවර නොගතහොත්, අප්‍රිකානු මහාද්වීපයට මුහුණදිය හැකි දේ පිළිබඳ සලකුණක් ලෙස එය මා දකිනවා.” වෛද්‍ය රයන් සඳහන් කළේය.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරනලද දත්තවලට අනුව දකුණු අප්‍රිකාව මේ වනවිට ලෝකයේ වැඩිම COVID19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර පස් වැනි තැනට පත්ව තිබේ. ගෙවීගිය සතියේ දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 30%කින් පමණ ඉහළ ගොස් ඇත.

"දකුණු අප්‍රිකාව අවාසනාවකට  මේ ව්‍යසනයේ පූර්වගාමියා වීමට පුළුවන්" වෛද්‍ය රයන් පැවසීය. "එය අප්‍රිකාවේ සෙසු ප්‍රදේශවල කුමක් සිදුවේද යන්න පිළිබඳ අනතුරු ඇඟවීමක් විය හැකියි."

"සමහරවිට මේ වසංගතය ඉතා ඉක්මනින් පැතිර යාවී. සමහර විට වෙනත් අවස්ථාවලදී මෙන් එය ඉතා සෙමෙන් ගමන් කර, පසුව  වේගවත් වීමට පුළුවන්. එය එසේ වන්නේ මන්දැයි සම්පුර්ණයෙන්
තේරුම් ගැනීම අපහසුයි." කලාපයේ අනෙකුත් රටවල  COVID-19 ඉහළ ගොස් ඇති බවද වෛද්‍ය රයන් සඳහන් කළත්, ඒවායේ මුළු සිද්ධි ගණන දකුණු අප්‍රිකාවට වඩා අඩු මට්ටමක පවතින බවද සඳහන් කළේය. පසුගිය සතියේ මැඩගස්කරය, නැමීබියාව සහ බොට්ස්වානා ආදී රටවල ආසාදිතයන්ගේ පිළිවෙළින් 50%ක, 69%ක සහ 66%ක ඉහළ යෑමක් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

දකුණු අප්‍රිකාව තුළ ඊයේ (21දා) සන්ධ්‍යව වනවිට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 373,628ක්  සහ මරණ 5,173ක් ලෙස ෆේස් හොකිස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කළ අතර, අප්‍රිකානු කලාපයේ වසංගත බරින් 61%ක්ම දකුණු අප්‍රිකාව විසින් දරනු ලැබේ.