හොරණ ඉලිඹ ප්‍රදේශයේ දී ඉකුත්දා ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව පොලිසිය මගහරිමින් පැනගොස් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ඊයේ (21) අලුයම මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමග කොළඹ අපරාධ  කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ
බව පොලිස් මූලස්ථානය කියයි. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ නීලක ඇතුළු සිවුදෙනකු ටී 56 ගිනි අවියක් ද සමග මිට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබූ අතර මෙම සැකකරු පමණක් ප්‍රදේශයෙන් පලාගොස් දිවයිනේ තැන තැන සැඟවී සිටි බවද පොලිසිය පවසයි.

ඉකුත් පෙබරවාරි 27 වැනිදා ඉලිඹ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් යමින් සිටි ව්‍යාපාරිකයකු ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා ඝාතනය කර තිබූ අතර ඒ සඳහා සැකකරුවන් ටී 56 ගිනිඅවියක් හා 3.8 වර්ගයේ ගිනිඅවියක් ගෙන ආ බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබිණි. එම ගිනිඅවිය සමග මෙම සැකකරු පලාගොස් සිටී බවද පොලිසිය කියයි. මෙම ගිනිඅවි දෙක හික්කඩුව ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දී ඇති බවට තොරතුරු හෙළි වූ බවද පොලිසිය පවසයි. මෙම සැකකරු ඊයේ අලුයම ඉලිඹ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ  නිවසට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඉලිඹ ප්‍රදේශයේ රබර් වත්තක ගස් බෙනයක් තුළ සංගවා තිබූ 3.8 වර්ගයේ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් හා මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 5 ක් පොලිසිය සොයාගෙන ඇත.

-ඉන්දිකා රාමනායක-