වැල්ලවාය, රන්දෙණිය ප්‍රදේශයේ පදිංවි බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කළ 19 වියැති තරුණියකට මොනරාගල පළාත්බද මහාධිකරණයේ විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය බරපතළ වැඩසහිත වසර හතක සිරදඩුවමක් නියම කළාය.
පසුගිය 2018 වර්ෂයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර එවකට මෙම කාන්තාව 17 හැවිරිදි තරුණියකි. මෙම දාහත් හැවිරිදි තරුණිය මෙම හත් හැවිරිදි පිරිමි දරුවා තරුණියගේ නිවසට කැදවාගෙන විත් මෙම අතවරය සිදුකර ඇති බවට දරුවාගේ මව විසින් සිදුකළ පැමිණිල්ලේ සදහන් වේ.


වැල්ලවාය පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. පසුව අධිකරණය විසින් සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් පසු මෙම සැකකාර තරුණිය වරදකරු කරමින් වසර හතක බරපතළ වඩසහිත සිරදෙඬුවමක් හා රුපියල් ලක්ෂයක්ද ගෙවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, එම වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසරක බරපතළ වැඩසහිත සිරදඩුවමක් රුපියල් පන්දහසක දඩයක්ද එම දඩය නොගෙවන්නේනම් තවත් මාස හයක සිරදඩුවමක්ද නියම කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ජෙහාන් ගුණසේකර සහ වැල්ලවාය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ප්‍රියන්ත මහත්වරු පෙනී සිටියහ.

(වැල්ලවාය-අයි.ආර්.ඉන්දික)