ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයෙකු ලෙස කටයුතු කළ කේ. මතිවානන් මහතා සිය ඉල්ලා අස්වීම ඊයේ (29දා) ක්‍රිකට් ආයතනය වෙත සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත යොමු කර තිබේ. මීට අමතරව ඔහු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාටද ඔවුන්ගේ ඉල්ලා අස්වීම යොමු කර ඇති බව අනාවරණය වේ.
ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලය පුරාවට සිදුවූ මුල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය ප්‍රශ්න කරමින් මතිවානන් මහතා උපසභාපති ධුරයෙන් ඉවත්ව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ කේ. මතිවානන් මහතා වෙනුවට හිටපු සභාපතිවරයෙකු වන ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට ඊයේ (29දා) සවස රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ.


 සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මතිවානන් මහතා පෙන්වා දෙන්නේ විධායක කමිටු තීරණ සටහන් තැබීම්වල ඔහු නගන විරෝධතා හෝ අදහස් ඇතුළත් නොවීම හරහා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු උපයාගත් ඉහළම කීර්තිනාමයට හානි කරගැනීමට තවදුරටත් සුදානම් නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

"ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උපසභාපතිවරු දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක්‍රිකට් යන අංශ මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවැති නමුත් වර්තමානයේ මට කිසිදු වගකිවයුතු කටයුත්තක් ලබා නොදීම හේතුවෙන් වත්මන් පරිපාලනය මා හුදෙකලා කර ඇත. මාව ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන ධාරාවෙන් ඉවත් කර ඇති බව මට වැටහී තිබිණි.

එමෙන්ම විධායක කමිටුව තුළ මෙන්ම කළමනාකරණ කමිටුව තුළද විවාදයට තුඩුදෙන ඇතැම් මුල්‍ය ගනුදෙනු සහ සාකච්ජා වන කරුණු සම්බන්ධයෙන් මා නගන විරෝධයන් හා අදහස් දැක්වීම් වත්මන් පරිපාලනය දැඩි සේ නොසලකා හරින බව කිව යුතුය. විධායක කමිටු තීරණ සටහන් තැබීමිවල මා නගන විරෝධතා හෝ අදහස් ඇතුළත් නොවීම හරහා අනාගතයේදී මේ සිදුවන ක්‍රියාවලිය තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මා උපයාගත් ඉහළම ධනය වන මගේ කීර්තිනාමයට හානි කරගැනීමට මා තවදුරටත් සුදානම් නැත.

සාකච්ඡා වන කරුණු ඇතුළත් ලිපි ලේඛන විධායක කමිටු රැස්වීම්වලට සැලකිය යුතු කාල සීමාවකට පෙර ලබා දිය යුතු නමුත් එය මෙතෙක් සිදු වී නොමැත. ඒ හරහා ඇතැම් කරුණු පිළිබඳ තොරතුරු සොයා බැලීමට හා අදහස් දැක්වීමට ලැබෙන කාලය සීමාවීම වත්මන් පරිපාලනයේ විනිවිධභාවය පිළිබඳ ගැටලු මතු කරන්නකි.

සැමවිටම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් අවංකවම කටයුතු කළ මා හට හෘදසාක්ෂියට එකඟව තවදුරටත් වත්මන් ක්‍රිකට් පරිපාලනය තුළ රැදී සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇත. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පණ මෙන් ආදරය කළ මා හට ක්‍රිකට් ක්‍රීඩාව හේතුවෙන් ලැබුණු දේ මෙන්ම, අහිමි වූ දේද බොහෝය. ඒ සියල්ල උපේක්ෂා සහගතව විඳදරාගත් මා දැන් සිටින්නේ තීරණාත්මක මොහොතකය. ඒ අනුව වත්මන් ක්‍රිකට් උපසභාපති  තනතුරට සමුදීම හැරෙන්නට අන් විකල්පයක් මේ අවස්ථාවේ මට නොපෙනේ. එබැවින් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ තනතුරුවලට සමුදීමට තීරණය කළෙමි. යම්කිසි දිනෙක මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සැබෑ ගෙරවණීය සේවාවක් ඉටුකළ හැකි දිනයක් උදාවුවහොත් ඒ වගකීම භාරගැනීමට මා සුදානම්ය.”

(පැතුම් ශ්‍රී විජේරත්න)