නව කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත්, ඇතැම් රටවල වසංගතයේ දෙවැනි රැල්ලක පෙර නිමිති පෙන්වීමත් නිසා ලොව පුරා ඇතැම් රටවල සහ නගරවල 'ලොක්ඩවුන් තත්වයන්' යළිත් පැනවීම සම්බන්ධයෙන් වාර්තා වෙයි.



වෙනිසියුලාවේ කැරකස් අගනුවර ලොක්ඩවුන්

වෙනිසියුලාවේ කැරකස් අගනුවර cOVID-19 ආසාදිතයන් වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ (15) සිට යළිත් පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයක් ක්‍රියාත්මක වන බව එරට උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගුස් පවසයි. වෙනිසියුලාව ජුනි මාසයේ මුල සිට ක්‍රමයෙන් යළි විවෘත කළත්, පසුගිය දින කිහිපය තුළ එරට ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යෑමක් පෙන්නුම් කළේය. මේ අනුව එරට අගනුවර දිස්ත්‍රික්කය සහ අවට මිරැන්ඩා ප්‍රාන්තය මුළුමනින්ම අගුලු දැමීමේ තීරණය ජනාධිපති නිකොලස් මදුරෝ විසින් ප්‍රකාශයට පත් කළ බව රොඩ්‍රිගුස් පවසයි.

වෙනිසියුලාවේ ඊයේ (15දා) වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10,000 ඉක්මවූ අතර, ඉන් 2,000කට ආසන්න ආසාදිතයන් කැරකස් සහ අවට මිරැන්ඩා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත. එමෙන්ම රට පුරා මරණ 100කට ආසන්නය.

ඉන්දියාවේ IT කේන්ද්‍රස්ථානය ලොක්ඩවුන්

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන කර්නාටක ප්‍රාන්තයේ, බැංගලෝරය පෙරේදා (14දා) සිට යළිත් ලොක්ඩවුන් තත්ත්වයට පත්කර තිබේ. ඉන්දියාව තුළ සමස්ත COVID-19 ආසාදිතයන් මිලියනයකට ආසන්න වී, දෛනික මරණ 500 ඉක්මවන පසුබිමක මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

මාර්තු මස අගදී සම්පූර්ණ අගුලු දැමීමක් සිදුකළ ඉන්දියාව, එරටට ඇතිවිය හැකි විශාල ආර්ථික බලපෑම අවම කිරීම සඳහා පසුව නීති ලිහිල් කරන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ සිලිකන් වැලි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බැංගලෝරයේද ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

ඔට්‍රේලියාවේ මෙල්බර්න් සති 06ක් ලොක්ඩවුන්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයද ඇතුළත් වන පරිදි වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් COVID-19 දෙවැනි රැල්ලක් ඉස්මතු වීමත් සමඟ පසුගියදා සති 6ක කාලයක් ලොක්ඩවුන් තත්ත්වයට පත්කර තිබේ.

ඔස්ට්‍රේලියාව නව කොරෝනා පළමු වැනි රැල්ල අතිසාර්ථකව පාලනය කළ රටක් ලෙස පැසසුම් ලැබුවද, දෙවැනි රැල්ලක් ඔට්‍රේලියාව තුළද  මෙසේ ඉස්මතු වීම කැපී පෙනෙන සිද්ධියකි. ඔස්ටේ‍්‍රලියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10,487ක් වන අතර, ආසාදිත මරණ 111කි.

ඉන්දියාවේ බිහාර් දින 16ක් ලොක්කවුන්

නැගෙනහිර ඉන්දීය ප්‍රාන්තයක් වන බිහාර්, ජූලි මස 16දා සිට දින 16ක කාලයක් පූර්ණ ලොක්ඩවුන් තත්වයට පත්කර තිබේ. පසුගිය සති තුන තුළ බිහාර් ප්‍රාන්තයේ COVID-19 ආසාදිතයන් ඉතා භයානක ලෙස වැඩිවීම සැලකිල්ලට ගෙන මෙම අගුලු දැමීම පනවා ඇත. එහිදී සියලුම රජයේ කාර්යාල, වාණිජ හා පෞද්ගලික ආයතන, ප්‍රවාහන සේවා, අධ්‍යාපන ආයතන, පූජනීය ස්ථාන සහ උද්‍යාන මේ සමඟ වසා දැමෙන අතර, සියලුම රෝහල් හා වෛද්‍ය පහසුකම් විවෘතව පවතිනු ඇත. කෘෂිකාර්මික කටයුතු, ඉදිකිරීම් කටයුතු, කාර්මික ආයතන අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. අඟහරුවාදා වනවිට බිහාර් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 18,000කට ආසන්න පිරිසක් වාර්තා විය.

මේ අතර නැගෙනහිර ප්‍රාන්ත වන ජාර්කන්ද් සහ බටහිර බෙංගාලය සහ බටහිර මහාරාෂ්ට ප්‍රාන්තද මේ වනවිටත් ලොන්ඩවුන් කර ඇති අතර ඒවා ජූලි 31දා අවසන් වීමට නියමිතය. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයද ජූලි මස අවසානය දක්වා සති අන්තයේ අගුලු දමා ඇති බව වාර්තා වෙයි.

ස්පාඤ්ඤයේ කැටලෝනියාවත් ලොක්ඩවුන්

වසංගතයේ මුල් අවධියේදී දරුණු ලෙස බැටකෑ ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ, සෙග්‍රීක් කලාපය ජූලි 4දා සිට දින නියමයක් නොමැතිව අර්ධ වශයෙන් ලොක්ඩවුන් තත්ත්වයට පත්කර තිබේ. රට තුළ පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීමත් සමඟ COVID-19 ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩි වීමක් වාර්තා වීමෙන් පසු මෙම පියවර ගනු ලැබීය. ස්පාඤ්ඤයේ සමස්ත ආසාදිතයන් 256,619ක් වන අතර, ආසාදිත මරණ 28,409කි.

එක්සත් රාජධානියේ ලීස්ටර් නගරය ලොක්ඩවුන්

එක්සත් රාජධානියේ ජූනි අග වනවිට රට තුළ වාර්තා වූ COVID-19 ආසාදිතයන්ගෙන් 10%ක්ම ලීස්ටර් නගරය කේන්ද්‍ර කරගෙන වාර්තා වීමෙන් පසු යළිත් ලොක්ඩවුන් තත්ත්වයට පත්කර තිබේ. පසුගිය සති දෙකක කාලය තුළ නගරය මෙසේ අගුලු දමා තිබුණද, එසේ තිබියදීත් නවතම දත්තවලට අනුව ආසාදිතයන්ගේ වැඩි වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වැඩි අවධානයක් යොමුකර තිබේ. විශේෂයෙන්ම ලොක්ඩවුන් තත්ත්වය මධ්‍යයේ වුවද මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර ඇත. එක්සත් රාජධානිය සමස්ථ ආසාදිතයන් 292,931ක් වන අතර, ආසාදිත මරණ 45,053කි.