කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ මධ්‍යම පළාතේ හමුදා නිලධාරීන් 11 දෙනෙකුට කෝවිඩි19 ආසාදනය වී තිබෙන බවට තහවුරු වී. ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.
මේ වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ 04 දෙනෙකුට සහ මහනුවර 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වී ඇති බවත්, මින් මහනුවර අවදානම් තත්වයක් ඇති අතර ඔවුන් ඇසුරු කළ ආශ්‍රිතයන් 300ක් පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
 සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව කියා සිටියේ ඊයේ (14දා) මහනුවරදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙම නිලධාරීන් පාතදුම්බර, මැණික්හින්න, කුණ්ඩසාලේ, තලාතුඔය, ගම්පොළ, බඹරදෙණිය හා හසලක ප්‍රදේශවලින් වාර්තා වන අතර, ඉන් සමහරෙකු දින 02 සිට දින 10 දක්වා තම ගම් ප්‍රදේශවල රැදී සිට ඇති බවත්, ඉන් පළමු වටයේ දෙවැනි වටයේ සියලු දෙනාම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
මින් පළමු පෙළ අයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග සියලුම දේ රැගෙන ඇති බවත්, ඔවුන් හඳුනාගෙන නිරෝධායනය කිරීම තුළින් මෙම වෛරසය සමාජයට පැතිරීම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ, පොලීසිය හා හමුදාව මේ වනවිට ක්‍රියා කරමින් සිටින බවත් අධ්‍යක්‍ෂවරයා පැවසීය. පළමු පෙළ පී.සී.ආර්. පරීක්ෂණ සෘණාත්මක වුවහොත් පවතින අවදානම අඩුවන බවත්, කෙසේ වෙතත් සියලු තත්ත්වයන්ට මුහුණදීම සඳහා සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග මේ වනවිට රැගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා පැවසීය.
මෙම ආසාදිතයන් ඇසුරු කළ කෙනෙකු සිටී නම් වහාම ඒ පිළිබඳ අදාළ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් දන්වා සිටියේය.
මේ අතර, කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ කුණ්ඩසාලේ ප්‍රදේශයේ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් අතරින් ඔහුගේ බිරිදට හා පියාට කෝවිඩි19 ආසාදනය වී ඇති බව. තහවුරු වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ඊයේ (14දා) පැවසීය.
එම නිලධාරියා නිවාඩු ලබා තම නිවසට පැමිණ සිට ඇති අතර, ඔහුට කෝවිඩ්19 ආසාදනය වී ඇතැයි දැනගත් පසු පවුලේ දියණියන් තිදෙනා, බිරිඳ සහ පියා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඇත.

චමිල් රූපසිංහ