ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ඨ රාජකාරි ඉටු කරන ලද පොලිස් නිලධාරීන් සඳහා මුදල් ත්‍යාග සහ
පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයක් ඊයේ (26) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ආරක්‍ෂක ලේකම් මේර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාද සහභාගි විය.
පසුගිය 09 වන දින කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ නිලධාරීන්ට ගිනි අවියක් පෙන්වා බිය ගන්වා එහි තිබූ මුදල් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කල කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත නිලධාරිනියට සහ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල් නිලධාරියාට මෙන්ම සැකකරු අත්අඩංගුවට ගැනීමට සහය දැක්වූ ඩබ්.ඩබ්.ඒ.පී ප්‍රනාන්දු මහතා හටද ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කරන ලදී.

ඊට අමතරව මෙහිදී  මැයි 21 වන දින ඉහල කොත්මලේ ජලාශයට පැන දිවි හානි කර ගැනීමට තැත් කල කාන්තාවකගේ දිවි බේරා ගැනීමට දායක වූ තලවකැලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්.ආර්.ඩී ප්‍රනාන්දු සහ පොලිස් කොස්තාපල් 73627 එස්. කාන්ත රූබන් යන නිලධාරීන්ට මෙන්ම එම කාන්තාව බේරාගැනීමට ගොස් දිවි අහිමි වූ සිවිල් පුද්ගලයාගේ බිරිඳ වන සිවන් මේරි තේරේන්සා හට මුදල් ත්‍යාග පිරි නැමිණ.