සුගියදා පාමංකඩදී රිය අනතුරෙන් මිය ගිය පිළියන්දල ගොරකාපිටිය සමගිපුර අංක 59/ බී හි. පදිංචි වී සිටි වීණාවි සුලක්ඛනා මාපිටිගම (41) නමැති තිදරු මවගේ මරණය සම්බන්ධව හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ මහතා විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පවත්වනු ලැබීය.
එහිදී සාක්කි දුන් සැමියා මෙලෙස කීය. මම කුවේට් ගුවන් සමාගමේ
ගුවන් සේවකයකු ලෙස දැනට සේවය කරනවා. මගේ බිරියත් මීට පෙර එම ගුවන් සමාගමේම ගුවන් සේවිකාවක ලෙස සේවය කළා. පසුව දරුවන්ගේ කටයුතු නිසා ඇය එම සේවයෙන් ඉවත්ව නිවසේ ජීවත් වුණා.

පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා මමත් මගේ බිරියත් ඉකුත් 14 වැනිදා සවස මෝටර් රථයෙන් වැල්ලවත්ත ඥාති නිවසකට යමින් සිටියා. එහිදී මායා මාවත පසු කරමින් ඊශ්වර මාර්ගයට හරවනවාත් සමගම අධික වේගයෙන් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් අපේ මෝටර් රථයේ ගැටුණා, ඒ සමඟම මෝටර් රථය පසකට විසි වුණා. මඳ වේලාවක් යද්දී ඒ ස්ථානයට පොලිස් නිලධාරින් හා අසල්වාසීන් ද  පැමිණියා.

ඒ සමගම පොලිස් නිලධාරින්ගේ සහායෙන් සුවසැරිය ගිලන් රථයක් එම ස්ථානයට ගෙන්වාගෙන අපි කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගියා. එහි දි මටත් බිරිඳටත් වෙද්‍යවරුන් ප්‍රතිකාර ලබා දුන්නා.

මට වඩා මගේ බිරියට අනතුරෙන් තුවාල සිදුව තිබුණා. ඇයගේ ගෙල පෙදෙස තමයි වැඩිපුර හානි වී තිබුණේ. මගේ බිරිය බේරගන්න කියලා මම වෛද්‍යවරුන්ට කිවිවා ඒත් මගේ බිරිඳ දරුවන් තුන් දෙනාවත් මාවත් අතහැරලා අවසන් ගමන් ගියා. මේ දුක මට දරාගන්න බැහැ. මගේ දරු තුන් දෙනාට මව් සෙනෙහස අහිමි වුණා. අවුරුදු තුන හය සහ දොළහ වයසේ පසුවන  දරුවන් තිදෙනකුයි මට ඉන්නේ.

මගේ බිරිය මිය ගියේ රිය අනතුරකින් බව මම පිළිගන්නවා, මරණය පිළිබඳ මට සැකයක් නැහැ. බිරියගේ මෘතදේහය මා හඳුනා ගත්තා. මියගිය වීනාවී සුලක්ඛනා මහත්මිය ගේ පියා වන ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂි චන්ද්‍රරත්න මාපිටිගම මහතා සාක්ෂි දෙමින් මෙසේ කීය.

මගේ දුවත් ඇයගේ සැමියාත් මෝටර් රථයෙන් පාමංකඩ ප්‍රදේශයේ නිවසකට යමින් සිටියදී මෙම අනතුර වී තිබුණා. මේ බව දැනගත් සැණින් මම කළුබෝවිල රෝහලට ගියා. ඒ වන විටත් මගේ දුව මිය ගොස් තිබුණා. මේ දුක මට දරා ගන්න අමාරුයි.

 මගේ දුවට දරුවන් තිදෙනකු සිටියා. මේ දරු තුන් දෙනාට මවක් අහීමි වීම මට දරා ගන්න අමාරුයි. මේ දරුවො කාටද දැන් අම්මේ කියන්නේ. ඒ නිසා අසරණ දරුවෝ තුන් දෙනාට සාධාරණයක් ඉටු කරන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සී.පී. රණසිංහ මහතාගේ වෛද්‍ය වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්කි අනුව මිය ගිය කාන්තාව රිය අනතුරකට ලක්ව ඇයගේ ගෙල ප්‍රදේශයට සිදුව තිබූ බරපතළ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බව කළුබෝවිල හදිසි මරණ පරික්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නිගමනය කළේය.

පසුව මෘත දේහය මියගිය කාන්තාවගේ පියා වන ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍ර රත්න මාපිටිගම මහතාට බාරදෙනු ලැබීය. රිය අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු දැනට නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර අලුත්කඩේ අංක 3ට අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා පෙරේදා (15) එම රෝහලට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව සැකකරු ලබන 29 දා දක්වා රිමාන්ඩ් ගත කිරීමට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක, කපිල විජයමාන්න මහතාගේ අධීක්ෂණය යටතේ, රථ වාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක ප්‍රේමසිරි පීරිස් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න, පොලිස් සැරයන් (37308) කොස්වත්ත නිලධාරීහු පරිණක්ෂණ පවත්වති.

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බණ්ඩාරගම -බිමල් ශ්‍යාමන් ජයසිංහ)