දඩයක්කරුවන් විසින් අටවා තිබූ මද්දකට හසුවී ඉදිරි පාදයකට බරපතළ තුවාල සිදුව තිබූ වනඅලියකුට පෙරේදා (15දා) ප්‍රතිකාර කර නැවත වනයට නිදහස් කළ බව ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු පවසති.


පාදයක් තුවාලවී ඉතා අසීරුවෙන් වනඅලියකු සිටින බවට ලුණුගම්වෙහෙර ජලාශයේ ධීවර කටයුතුවල නියැලී ධීවරයන් පිරිසක් කළ දැනුම්දීමකට අනුව ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසක් මෙම වනඅලියා මීට පෙර නිරීක්ෂණය කර මේ පිළිබදව උඩවලට ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

ඒඅනුව පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා ඇත්අතුරු සෙවෙණේ නිලධාරින් හා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරි එකතුව ලුණුගම්වෙහෙර උද්‍යානයේ බෝගහවැව ප්‍රදේශයේදී වන අලියා නිර්වින්දනය කර අල්ලාගෙන පෙරේදා (15) ප්‍රතිකාර කිරීමෙන් පසුව වනයට මුදාහැර තිබුණි.

අවුරුදු හතක් පමණ වයසැති මෙම වන අලියාගේ ඉදිරිපාදයට යකඩ මද්ද හේතුවෙන් බරපතළ තුවාල සිදුව තිබූ බව වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා සදහන් කළේය.

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ඒ.වී. කසුන් තරංග මහතාගේ උපදෙස් මත වන සත්ත්ව අඩවි ආරක්ෂක ටී.එච්.ඒ. සිල්වා වනසත්ත්ව නියාමකවරුන් වන යාපා බණ්ඩාර, ඩබ්.ඒ.එම්. සමීජ, රජිත ලක්මාල්, ඩී.කේ.පී. නිලවීර, වනජිවී ක්ෂේත්‍ර සහායක කේ.බී.එස්. කුමාර, රියදුරු අයි. චන්ද්‍රපාල යන මහත්වරු ඇතුළු පිරිසක් ප්‍රතිකාර සිදුකළහ.

ප්‍රතිකාර ලැබූ වන අලියා කැලයට නිදහස් කලද එම වන අලියා පිළිබඳව තවදුරටත් සමීව නිරීක්ෂණය කරන බව වනජීවී තිලධාරිහු පැවසූහ.

(මොනරාගල-නයනජීව බණ්ඩාර)