1986 වසරේදී ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම “ඉරට හඬන මල්” නමින් ටෙලි නාට්‍යයක් නිර්මාණය කළේය. මේ ටෙලි නාට්‍යයට පසුබිම් වූ කතාවට රූපවාහිනි ප්‍රේක්ෂකාගාරය හඬා වැටිණි. ඊට මූලික වූයේ මවු සෙනෙහස අහිමිව තැවෙන අරලියාය. තාත්තාගේ රැකවරණය ලබමින් පුංචි අයියා සමඟ දවස ගෙවූ

අරලියාගේ චරිතය නිරූපණය කළේ වීණාවී සුලක්ඛනා මාපිටිගමය.


වීණාවී මේ චරිතය නිරූපණය කරන විට ඇගේ වයස අවුරුදු හතකි. ඒ ටෙලි නාට්‍යයේ ඇගේ අයියා ලෙස
රඟපෑවේද සැබෑ ජීවිතයේ ඇයගේම ලොකු අයියා වූ ආත්‍රී මාපිටිගමය.

දශක තුනහමාරකට පෙර ටෙලි නාට්‍යයක් වෙනුවෙන් රූපගත කෙරුණු ඒ සංවේදී ජවනිකා වර්තමානය වනවිට මාපිටිගම යුවළ හා ඔවුන්ගේ බෑනනුවන්ට අත් විඳින්නට සිදුවීම දෛවයේ සරදමක් දැයි මේ සටහන අවසන තෙක් කියවන ඔබට සිතෙනු නියතය. ඒ එදා වීණාවී රඟපෑ චරිතය සේම මෙදා වීණාවීගේ දරුවන්ට මවු සෙනෙහස අහිමි වීමේ ඛේදවාචකය නිසාය.

දිනය පසුගිය 14 වැනි ඉරිදාය. එදා චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණිය වීණාවී තම ආදරණීය ස්වාමි
පුරුෂයා වූ දේව් ආනන්ද දිසානායක සමඟ පාමංකඩ බලා පිටත් වූයේ පිළියන්දල නිවෙසේ සිටය.
ඔවුන් මුලින්ම පැමිණියේත් මහරගම කතෝලික දේවස්ථානයටය. ඒ ඉරිදා සවස 3.30ට පැවැත්වෙන පූජාවට
සහභාගි වනු පිණිසය. මේ ආකාරයට සවස 4.30 දක්වා දේවස්ථානය තුළ සිටි වීණාවී - දේව් යුවළ
ඊළඟට වැගන්ආර් රථයට ගොඩවී ගමන් ආරම්භ කළේ පාමංකඩ බලා යෑමටය.

“මගේ ලොකු පුතා ආත්‍රී ඉන්නේ පාමංකඩ. එයාගේ නෝනා ඉංග්‍රීසි පන්තියක් කරනවා. ඒකේ වීණාවී
දුවගේ ලොකු දුවත් ඉගෙන ගන්නවා.
ඉතින් මේ ක්ලාස් එකට අක්කා යද්දී අනිත් ළමයි දෙන්නත් ගියා. එදා තුන්දෙනාම හිටියේ පාමංකඩ ඒ
නිවෙසේ. මෙසේ කීවේ චන්ද්‍රරත්න මාපිටිගම මහතාය.

දේව් සහ වීණාවී මෙසේ ගමන් කළේ එම නිවෙසේ ඉන්නා තම දරු තිදෙනා එක්කරගෙන එන්නටය.
වාහනය සුපුරුදු වේගයෙන් ඉදිරියට ඇදී ගියේය. වීණාවී තමා සතුව තිබූ මාස්ක්් එකත් ගෙන එය ගැළපෙන
සේ සකස් කර ගත්තාය. “ලස්සනයි නේද? මේ බලන්කෝ ඇඳුමේ පාටටම ගැළපෙනවා.” ඥාතියකුගෙන් ලැබී තිබුණු මේ අලුත් මුඛ ආවරණය අතින් සකස් කර ගත් ඇය ඊළඟට සෙල්ෆි ඡායාරූපයක්ද ලබාගෙන ඒ දෙස බලා සතුටු වූවාය.

දේව් ඒ දෙස බලා සිනාසුණේය. “ලස්සනයි තමයි” දේව්ගේ මුවින් ඊළඟට පිටවූයේ එවැනි කෙටි පිළිතුරක්.
තවත් මොහොතකින් වීණාවී කෑගැසුවාය.

“ඔන්න.....!”

ඊළඟ තත්පරයේදී මුළු පළාතම දෙවනත් කරමින් ඔවුන්ගේ වාහනය තවත් වාහනයක ගැටිණි. එය සුළු පටු
අනතුරක් නම් නොවේ.

වටපිටාවේ මිනිසුන් දේව්ගේ වාහනය දෙසට දිව එද්දී දේව් ආයාසයෙන් වීණාවී වෙතට ළඟා විය. ඇයට
හොඳ සිහියක් නොවීය.


දේව් වහාම කළේ වාහනයේ ෂීට් බෙල්ට් එකට සිරවී තිබුණු වීණාවීගේ ගෙල ප්‍රදේශය ඉන් මුදා ගැනීමය.
ඒ සඳහා ෂීට් බෙල්ට් එක කපා දැමීමට සිදුවිය. ඊළඟ මොහොතේ ඔහු ඇයට කෘත්‍රිම ශ්වසනය ලබා
දෙන්නට වූයේ ඇගේ හදවත නැවැතී ඇති බව හොඳින්ම දැනගත් නිසාය. එහෙත් ඉන් පලක් නොවීය. ඊළඟ මොහොතේ ඔවුන් නතර වූයේ කළුබෝවිල රෝහලේය.

“ලෙඩා නැති වෙලා........” රෝහලේදී දේව්ට ඇසුණේ එපමණකි. ඔහු කෑගසා හඬා වැලපෙන්නට
පටන් ගත්තේය. ඒ හඬා වැලපීම සාමාන්‍ය වැලපීමකට වඩා දෙගුණ තෙගුණ විය.

“මට හිටියේ හොඳම පෙම්වන්තියක්. හොඳම බිරියක්. හොඳම මවක්. ඒ හැම දේකටම වඩා එයා
මනුස්සකම්වලින් පිරුණු සංවේදී ගැහැනියක්. මට නැති වුණේ නිකම්ම නිකම් කෙනෙක් නෙවෙයි. එයා මට
ලොකුම ලොකු වස්තුවක්.”
දේව් තවත් හඬා වැලපුණේය. ඔහුගේ කඳුළුවලට හා සංවේදී වාක්‍යවලට තිතක් නොවීය.

“දැන් කවුද මගේ දරුවන්ට ඒ උත්තරීතර මවු සෙනෙහස දෙන්නේ? ඒ දරුවෝ අම්මව හොයනකොට අහන කොට
මම මොනවද කියන්නේ? ඇයි අපට මෙහෙම වුණේ?”

වීණාවී සුලක්ඛනා ළමා නිළියක්ව සිටි බව අපි ඔබට මීට පෙර කීවෙමු. ඇය තම පුංචි රංගන දිවියේදී
“ඉරට හඬන මල්, කෝකිල විලාපය, පවිත්‍රා, දෙවැනි ගුරුවරී මෙන්ම  සුරබිදෙන” චිත්‍රපටයේදීත්
අනෝජා වීරසිංහ නම්වූ සුවිශේෂී රංගන ශිල්පිනියත් සමඟ අපූරු රංගනයක් පෑවාය. එමෙන්ම දෙවැනි ගුරුවරී
ටෙලි නාට්‍යයේ අත්වාරුවලින් ඇවිදින දැරියකගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කළ නිසාම ඇය සම්මානයට ලක් වූවාය. ඒ වසරේ විශිෂ්ට රංගනය වෙනුවෙනි.

එවැනි විශිෂ්ට ළමා නිළියක වූ වීණාවී තම පෞද්ගලික ජීවිතය සකසා ගත්තේද විශිෂ්ට ගැහැනියක් ලෙසය.
ඇය තම සහෝදර සහෝදරියන් තිදෙනාට යහපත් සොයුරියක් වූවාය. අම්මාට තාත්තාට ආදරණීය දියණියක්
ලෙස ළංවී සිටියාය.

ඥාති සොයුරු සොයුරියන් බොහෝදෙනා ඇය හැඳින්වූයේ දෙවැනි අම්මා ලෙසය.  ඉඳින් මෙවැනි පසුබිමක්
යටතේ ඇය ඇගේ දරුවන්ට ආරදණීය මවක්, ස්වාමිපුරුෂයාට ආදරණීය බිරියක වීම ස්වාභාවිකය.

එයා නිතරම හැමෝම එක්කම කතා කරනවා. අවවාද අනුශාසනා කරනවා. අනුන්ට සවන් දෙනවා.
දුකසැප දෙකේදීම ළඟ ඉන්නවා. මට හිතා ගන්න බැහැ ඒ වගේ කෙනකුට මෙහෙම දෙයක් වුණේ ඇයි
කියලා. එයා දෙවියෝ ළඟට ගියා. දැන් මම හිතන්නේ එහෙමයි. චන්ද්‍රරත්න මාපිටිගම තම ආදරණීය
දියණිය ගැන කඳුළු පිරි දෑසින් කතා කළේය.
තම පියා දක්ෂ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වුවත් විණාවී සුලක්ඛනා වෘත්තීය නිළියක්
වන්නට නම් කිසිදා සිහින මැව්වේ නැත. ඇය පුංචි කාලේ සිටම උනන්දු වූයේ අධ්‍යාපන කටයුතු හොඳින්
සිදු කිරීමටය.
නුගේගොඩ සුජාතා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය පසු කලෙකදී තම ජීවන වෘත්තීය ලෙස තෝරා ගත්තේ
ගුවන් සේවිකා රැකියාවය. කුවේට් එයාර්වේස් ගුවන් සමාගමට සම්බන්ධ වූ ඇය දෙදරු මවක් වනතුරුම එහි
සේවය කළාය. එහෙයින් ඇය කලක් ජීවත්ව සිටියේ කුවේට් දේශයේය.

“අපි හමු වුණෙත් ඒ ස්ථානයේ රැකියාව කරන කාලයේදීයි. කාලයක් ආදරය කරලා හොඳින් තේරුම් අරගෙන
තමයි අපි විවාහ වුණේ.”

“එදින ඉඳලා එයා මම වෙනුවෙන්, ගෙදර වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් කළ කැපවීම, ලබාදුන්න ආදරේ
මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අමතක කරන්නත් බැහැ.” දේව් නැවතත් ඇඬ­ූ කඳුළින් කීවේය.

මේ වනවිට 13 හැවිරිදි වියේ පසුවන වීණාවීගේ ලොකු දියණියට මේ සිදුවී ඇති විපත හොඳින් අවබෝධ කරගත හැකිය. ඒ නිසාම ඇය සන්සුන්ව වේදනාව ඉවසාගෙන අම්මාගේ දේහය දෙස බලා සිටින්නීය.

එහෙත් 8 හැවිරිදි පුතුට සහ 5 හැවිරිදි පුංචි දැරියට නම් සිදුවී ඇති විපත ගැන එතරම් දැනුමක් නැත.

“අම්මා නිදාගෙන ඉන්නවා. ඇහැරෙන්නෙම නැහැ” කුඩා දැරිය එසේ කියා ආච්චි අම්මා ළඟ සැනසෙන්නීය.

ඉකුත් 14 වැනි ඉරිදා සවස 5.30ට පමණ සිදුවුණු මේ දරුණු රිය අනතුරට මුහුණ දුන් අනෙක් වාහනය
සුබාරු වර්ගයකට අයත් එකකි. එය පදවා ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 20 හැවිරිදි මුස්ලිම් ජාතික
තරුණයෙකි. මේ වනවිට පෞද්ගලික රෝහලක සාමාන්‍ය තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටින ඔහු රක්ෂිත
බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයට නියෝග කොට ඇත.

වීණාවීගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ෂීට් බෙල්ට් එකට ගෙල හිරවීමෙන් සුෂුම්නාවට දරුණු හානි
සිදුවීමය. ආරක්ෂාවට ඇති උපකරණයක් එසේ මරණයට හේතුවීම දෛවයේ සරදමක් ලෙස සිතිය හැකිය.

සාමාන්‍යයෙන් අප ජීවත්වන සමාජයේ අසන්නට දකින්නට ලැබෙන සංවේදී කතන්දර බොහොමයක ඇත්තේ ගුණ යහපත් මිනිසුන්ට සිදුවන ශෝකජනක වේදනාකාරි ප්‍රවෘත්තිය. වීණාවීගේ කතන්දරයත් වැටෙන්නේ ඒ
ගොන්නටය. ඇය ජීවත් වූ කාල සීමාව කෙටි වුවත් ඒ කාලයේ ඇය කාගේත් හිත දිනාගෙන යහපත් ලෙස
ජීවත් වූවාය. ඇගේ මරණයෙන් බොහෝදෙනා තැවෙන්නෙත්, හඬන්නෙත් ඒ ගුණ යහපත්කම නිසාමය. ඇය ඉතිරි කර ගියේ ඒ නාමයයි.

(සමන් ප්‍රියංකර නම්මුනිගේ)