අද (21) දිනයෙහි ශ්‍රී ලංකාවටද දර්ශනය වන අර්ධ සූර්යග්‍රහණයක් පවතින බව වාර්තා කර තිබේ.
මෙම සූර්ය ග්‍රහණයේ ආරම්භක අවස්ථාව උදෑසන 10.23 ට යාපනයේ ඩෙල්ෆ්ට් දූපත ආශ්‍රිත ප්‍රදේශයට දිස්වන බව ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.

යාපනය ඇතුළු උතුර ප්‍රදේශයට චන්ද්‍රයා මගින් සූර්යයාගේ මුහුණත ආවරණය වීම උපරිමය සියයට 24 ක් වන අතර, කොළඹ ප්‍රදේශයට චන්ද්‍රයාගේ ඡායාව මගින් ආවරණය වන්නේ සියයට 16 ක පමණ ප්‍රමාණයකිනි.
යාපනයට එහි උපරිමය පෙරවරු 11.54 ට දිස්වන අතර, කොළඹට එහි උපරිමය දිස්වන්නේ පෙරවරු 11.51 ටයි.
මෙම අර්ධ සූර්ය ග්‍රහණය පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර, සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන විශේෂිත කණ්නාඩියකින් හෝ නොම්මර 14 වෙල්ඩින් වීදුරුවකින් නිරීක්ෂණය කිරීම ආරක්ෂා සහිත බවයි ආතර් සී.ක්ලාක් ආයතනය සඳහන් කළේය.
පියවි ඇසින් හෝ වීදුරු තහඩු, අව් කණ්නාඩි, එක්ස් රේ කොළ, දුරදක්නයකින් හෝ ප්‍රිස්ම දෙනෙතියකින් මෙය නිරීක්ෂණය නොකරන ලෙස එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ ජනතාවට අවවාද කර තිබේ.
මෙම සූර්යග්‍රහණය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස්වුවත්, එය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස අප්‍රිකානු මහද්වීපයෙන් ආරම්භ වී රටවල් රැසකට දිස්වනු ඇත.