උපකාරක පන්ති සඳහා සිසුන් 100කට වැඩියෙන් සහභාගී කරවා ගැනීමට අවසර දිය හැකිදැයි සලකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇත.


මෙම  සිසුන් 100ක සීමාව තුළ පන්ති පවත්වා උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීම අසීරු බව පවසමින් උපකාරක පන්ති දේශකවරුන් කර ඇති ඉල්ලීම් සලකා බලා ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන් බව සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) පැවසීය.

පක්ෂ නායකවරයකු සහභාගීවන පාලන රැස්වීමකට දුරස්ථභාවය ආරක්ෂා කරගෙන 500ක් සහභාගි කරවාගත හැකි අයුරින් සෞඛ්‍යය විධිවිධානවලට යටත්ව උපකාරක පන්ති සඳහා ද වැඩි සිසුන් පිරිසක් සහභාගී කරවාගත හැකිදැයි සොයාබලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පැවැත්විය හැකි නිශ්චිත දින වකවානු හා විභාගය පැවැත්වෙන ආකාරය ඉක්මනින් නියම කරන ලෙස කැබිනට් මණ්ඩලය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තූවේ දී ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

විභාගයට අදාළ විවිධ පාර්ශව සමග පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් සාකච්ඡා කර ගුරුවරුන්, සිසුන් හා අධ්‍යාපනඥයින් සමගත් සාකච්ඡා කර නිශ්චිත දින ඉක්මනින් ලබාදෙන බව මෙහිදී ඩලස් අලහප්පෙරුම මහතා පැවසූ බව ද ගුණවර්ධන මහතා පැවසීය.

සිනමාශාලා ජූලි 2 සිට විවෘත කිරීමේදී ද දැනට නිර්දේශ කර ඇති ආසන සංඛ්‍යාවෙන් සියයට 50 කට වඩා ශාලාවකට ඇතුළු කරගත හැකිද යන්න ගැන සාකඡාවක් ද විෂය බාර ඇමති, අග්‍රාමාතා මහින්ද රාජපක්‍ෂ මහතා හා සිනමා ශිල්පීන් අතර අද (26) පැවැත්වෙන බව ඇමතිවරයා කීවේය.

(ඩයනා උදයංගනී)