මුදල් ඉල්ලා කරදර කරනවයි කියා මව අනියම් සැමියා  සමඟ එක්ව සිය එකම පුතු ඝාතනය කර වළ දමා
තිබියදී  තිස්සමහාරාම පොලිසිය විසින් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු

වීරවිල ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ සිරුර තිස්සමහාරාම මහෙස්ත්‍රාත් කාංචනමාලී සුසන්තා
ගුණසේකර මහත්මිය ඉදිරියේදී ගොඩගෙන ඇත.

මෙලෙස ඝාතනය කර වළ දමා තිබුණේ අංක 118, කාවන්තිස්සපුර, තිස්සමහාරාම ලිපිනයේ පදිංචිව සිටි
30 හැවිරිදි සුවදහැන්නදිගේ නුවන් දිනේෂ් නමැති දෙදරු පියෙකි.

පසුගිය 26 වැනි දින සිට සැමියා නිවෙසට නොපැමිණි බවට මරණකරුගේ බිරිය විසින් පසුගිය 27 වැනි දින
තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබූ අතර මරණකරුගේ මවද සිය පුතා තමන් සමඟ
තිස්සමහාරාම නගරයට ගිය බවත් පසුව තමන් නැවතත් බස් රථයෙන් නිවෙසට පැමිණි බවත්, මෙතෙක් පුතා
නිවෙසට නොපැමිණි බවටත් තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප
පොලිස් පරික්ෂක ඒ.ජී. නිමල් මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායම මෙම සිදුවීමට අදාළව සැක පිට
මියගිය තරුණයාගේ මව වන 46 හැවිරිදි වල්පිටගමගේ කුමාරි මානෙල් නමැති අය හා ඇයගේ අනියම්
සැමියාගේ ඥාති සහෝදරියක වන අංක 115, කුඩා ගම්මාන 03, වීරවිල පදිංචි 41 හැවිරිදි නදිකා
ප්‍රියංගනී ජයවීර නමැති අය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් මව හා අනෙක් කාන්තාවගෙන්
පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ. එහිදී මියගිය තරුණයාගේ මව පාපෝච්චාරණය කරමින් පවසා
ඇත්තේ සිය පුතා නිතර නිතර මුදල් ඉල්ලා කරදර කරන නිසා  වතුර මෝටරයක් අරගෙන දෙන්න කියා
අනියම් සැමියා සිටි වගා භූමියකට රැගෙන ගොස් එහිදී අනියම් සැමියා හා ඔහුගේ ඥාති සොහොයුරියක
එක්ව හිසට පහරදී සිය පුතු ඝාතනය කර වළ දැමූ බවයි.

අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනාගේ කරුණු හෙළිකිරීම මත තිස්සමහාරාම මහෙස්ත්‍රාත් කාංචනමාලී
සුසන්තා ගුණසේකර මහත්මිය හා හම්බන්තොට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රනිත
සෙනෙවිරත්න මහතා ඉදිරියේදී සිරුර ගොඩගනු ලැබීය. මේ පිළිබඳ කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු
අනාවරණය වී ඇත්තේ හිස ප්‍රදේශයට මොට ආයුධයකින් එල්ල කළ පහරකින් මෙම තරුණයා මියගොස් ඇති බවයි.

සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා මේ මස 15 වැනි දින දක්වා රක්ෂිත
බන්ධනාගාරගත කරන ලෙස තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මත්තල - ඩී.එන්. ජයසේකර