ගේ එකම රත්තරන් පුතාට මෙහෙම අනතුරක් වෙලා දාලා යයි කියලා හිනෙකින්වත් හිතුවේ නැහැ. මගේ පුතා වීරවරයෙක්. යැයි ඉකුත් 11 වෙනිදා කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේදි රිය අනතුරකින් මියගිය පොලිස් කොස්තාපල් සිතුම්  දුලිත යොමාල් අලහප්පෙරුම මහතාගේ මැණියන් වන 60 වියැති ජී.ඩබ්ලිව්.ජී. බණ්ඩාර මැණිකේ මහත්මිය තම පුතුගේ දේහය අසල සිට හඩා වැළපෙමින් කියා සිටියාය.
කොළඹ ජාතික රෝහලේ
කාර්ය මණ්ඩලය සහ අතිකාල දීමනා සහ අනෙකුත් මුදල් ගෙවීම සදහා මුදල් අයකැමි භාරයේ තිබූ රුපියල් ලක්ෂ 79 කට ආසන්න මුදලක් පසුගිය 09 වැනිදා කොල්ලකා පලා යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි සේවයට පිය අනුයුක්ත ආධුනික නිලධාරියකු වන මෙම මියගිය පොලිස් කොස්තාපල්වරයා ඉකුත් 11 වැනිදා රිය අනතුරකින් මියගියේය.
ඒ කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේදී ඔහු ගමන් කළ යතුරු පැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටී සිදු වූ අනතුරකිනි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ සිතුම් දුලිත මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරිමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 13 වැනිදා අලුයම මිය ගියේය.

පොළොන්නරුව වැලිකන්ද ගිණිදමන 213 ලිපිනයේ පදිංචිව සිටින සිතුම් දුලිතගේ මව විශ්‍රාමික පවුල්
සෞඛ්‍ය සේවිකාවක් වන අතර, පියා දක්ෂ ගොවි මහතෙකි. සිතුම් දුලිතගේ මරණය සැලවීමත්
සමග ගම්මානය පුරා එක රැයකින් සුදුකොඩිවැල් එල්ලෙන්නට වූයේ ඔහු කෙරෙහි ගම්මානයේ  තරුණයන් මෙන්ම කොයි කවුරුත් අතර තිබූ අසීමිත ආදරය කරුණාව දයාව නිසාවෙනි.

සිතුම්ගේ දේහය 15 වැනිදා අලුයම වැලිකන්ද ගිණිදමන්නේ පිහිටි නිවසට රැගෙන එනවිට අතිවිශාල ජනතාවක් ඔහුගේ දේහයට අවසන් ගෞරවය දක්වක්නට නිවසට ඒරොක් වී සිටියහ.
 තම එකම පුතුගේ වියෝව නිසා කම්පනයට පත්ව සිටින ජී.ඩබ්ලිව්.ජී. බණ්ඩාර මැණිකේ මහත්මිය හඩාවැළෙපෙමින් මෙසේ ද කීවාය.
 ඇයි මගේ පුතේ මේ වගේ මෙහෙම දේකින් ඔයා අපට නැතිවුණේ? පුතාට සිදු වූ අනතුර සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලනවා.
මේ වගේ අනතුරුවලින් දරුවන් අපට අහිමි නොවීමට මගේ පුතාගේ අනතුර කාටත් පාඩමක් කරගන්නා ලෙස හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

සිතුම් දුලිතගේ වියෝව උහුලා ගැනීමට නොහැකිව දේහය අසල සිට හඩා වැළපෙන ඔහුගේ වැඩිමහල් සොයුරිය වන සඳුනිකා නිසාදනී මෙසේ කීවාය.
 මගේ රත්තරන් මල්ලිට මම කිව්වා පොලිසියට යන්න එපා කියලා. ඒ කියද්දි තමයි එයා පොලිසියට ගිහිල්ලා ඔය ඉරණම අත්කර ගත්තේ. එයා හරි
දක්ෂයි ඉගෙන ගන්න. ඒ නිසා තමයි මම කිව්වේ කැම්පස් ගිහින් උපාධියක් අරගන්නෙ කියලා. ඒත් එයා ඇහුවේ නැහැ. එයා පොලිසියට ගිහින් අවුරුදු දෙකක් ඇතුළත අම්මයි තාත්තයි මාවයි තනිකරලා සදහටම යන්න ගියා. එයා එස්.අයි. විභාගය ලියන්න තමයි හිටියේ. ඒ සියල්ලට
මරුවා ඉඩ දුන්නේ නැහැ.

" ඇත්තටම මගේ මල්ලි වීරයෙක්''. ලක්ෂ 79 ක් කොල්ල කාලා යද්දි ඒ සැකකරු අත්අඩංගුවට ගත්ත මගේ මල්ලි ජීවිතයත් මරණයත් අතර සටනක් කරන ආකාරය මේ රටේ හැමොම ටී.වී. එකෙන් දැක්කා. මම හිතනවා  මගේ මල්ලිගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගෙනුත් නීතියෙනුත් සාධාරණය ඉටුවෙයි කියලා.
රටක් වෙනුවෙන් යුතුකම ඉටුකළ මියගිය සිතුම් දුෂිත යොමාල් වෙනුවෙන් වැලිකන්ද ගිණිදමන මළ ගමක් බවට පත්ව ඇත්තේ ඔහු විසින් වසර දෙකක කාලයක් තුළ පොලිස් දෙපාරතමේන්තුවේ නාමය සදා අමරණීය කිරිමට ඉටුකළ අභීත අමිල වීර ක්‍රියාවන් වෙනුවෙනි.
 මෙම ඔහුගේ අවසන් කටයුතු ගිණිදමන පොදු සුසාන භූමියෙදි හෙට 17 වැනිදා බදාදා පොලිස් ආචාර හා ගෞරවය මැද සිදු කිරිමට නියමිතව ඇත.

 (මනම්පිටිය නිමල් ජයරත්න)