ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හා කළුතර දිස්ත්‍රික් අපේක්ෂක සංජීව එදිරිමාන්න මහතාගේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක මුරකරු සහ නිවසේ සුනඛයා නිවස තුළම අභිරහස් ලෙස මියගොස් සිටියදී
ඊයේ (23) සිරුරු හමුවූ බව තලංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර, කටුකුරුන්ද ගාලු පාරේ පදිංචි හන්දදුරගේ ජයසේන නමැති 70  හැවිරිදි අවිවාහකයකු බව පොලිසිය කියයි.අපේක්ෂක සංජීව එදිරිමාන්න මහතා පෙරේදා (22) රාත්‍රී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකට සහභාගි වී තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි කුලී නිවසට යාම සඳහා එහි මුරකරුට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇතැයි පැවසේ. එහෙත් ඊට මුරකරු ප්‍රතිචාර නොදැක්වීම නිසා යාබද නිවසක හිතවතකුට දුරකතන ඇමතුමක් දී තමන් රාත්‍රියේ නිවසට පැමිණෙන බව මුරකරුට දන්වන්නැයි පවසා ඇතැයි කියති.


ඒ අනුව එම නිවසේ කාන්තාවක් සංජීව මහතාගේ පණිවුඩය දීම සඳහා නිවස ඉදිරිපිටට ගොස් කතා කළද කිසිදු ප්‍රතිචාරයක් නොවූ හෙයින් ඊට මදක් ඈතින් තිබෙන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ ආරක්ෂක නිලධාරියකුට ඒ බව පැවසීමෙන් පසු ආරක්ෂක නිලධාරියා එම කාන්තාව සමග පැමිණ නිවසට ඇතුළු වෙද්දී නිවස තුළින් දුගඳක් දැනී වැඩිදුරටත් පරික්ෂා කර ඇතැයි පොලිසිය කියයි.

එසේ පරික්ෂා කරද්දී නිවසෙහි ඇති දැඩි කරන බල්ලා සාලයේත්, මුරකරු ඊට මීටර් 15ක් පමණ ඇතින් වූ කාමරයේ ඇඳ මතත් මියගොස් සිටින අන්දම දැක ඒ බව තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතාට දැනුම් දී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. මුරකරුගේ මළසිරුර ඇඳ මත උඩබැලි අතට තිබූ බවත් මීට දින කිහිපයකට පෙර එම පුද්ගලයා මියයන්නට ඇතැයි සැක කරන බවත් පොලිසිය කියයි. සුනඛයා වයස්ගත වූවකු බැවින් ආහාර නොමැති වීම හේතුවෙන් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මියගිය මුරකරු අසනීප තත්වයකින් පෙළී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.

සංජීව එදිරිමාන්න මහතා මෙම නිවස ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී කුලී පදනම මත ලබාගෙන තිබූ අතර කොරෝනා වසංගතය හේතුවෙන් මාර්තු 16 වැනි දින අඟුරුවාතොට ඔහුගේ ගම් ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය කියයි. ඉකුත් 12 වැනි දින සංජීව මහතාගේ බිරිඳගේ මාමා මෙම නිවසට පැමිණ මුරකරුට ආහාර හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගොස් ඇති බවට හෙළි වූ බව පොලිසිය කියයි.


 සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් පැමිණ පරික්ෂණ පැවැත් වූහ. කඩුවෙල අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ද ඊයේ පැමිණීමට නියමිතව තිබූ බව පොලිසිය කියයි.  තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක අමිත් ජයමහ, කොස්තාපල් (91880) සඳකැලුම් මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වති.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,මත්තේගොඩ -ශාන්ත ප්‍රදීප් කුලරත්න)