මීරිගම මංගල උත්සවයකදී ආරක්ෂාවට යැයි කියා මිතුරියකගේ ගෙල බැඳ තිබූ රුපියල් එක්ලක්ෂ හතළිස් දහසක් වටිනා රන්මාලයක් ගලවාගෙන අස්ථාන ගත කර ඇති බවට චෝදනා ලැබ ඇපමත සිටිය අධිකරණය මගහැර ගොස් මඩකලපුව ප්‍රදේශයේ සැගවී සිටිබව කියන විත්තිකාරියක් ජුලි 02 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ
රඳවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිතාරා මීමන මහත්මිය නියෝග කළාය.
දන්ඕවිට කුඹුරාදෙණිය දෙහිගහකොටුව පදිචි ආර්.ඒ. තුෂාරි මහේන්ද්‍රා රාජවික්‍රම නමැත්තියක් එසේ රිමාන්ඩ් කැරිණි.
 විත්තිකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අනාවරණය වූ පරිදි සිද්ධිය මෙසේය.
මීරිගම උත්සව ශාලාවක 2017 වසරේ මැයි 4 වැනිදා පැවැත්වූ මංගල උත්සවයකදී ආරක්ෂාව පිණිස කාන්තාවක් ඇගේ ගෙල බැඳ තිබූ රුපියල් පන්ලක්ෂ හතළිස් දහසක් වටිනා රන්මාලයක් ගලවා මිතුරියක වන විත්තිකාරියට දී ඇති බව මීරිගම පොලිසියේ පොලිස් සැරයන් එච්.ඇම්.ආර්.ජේ. හේරත් මහතා කරුණු දක්වමින් කියා සිටියේය.
 එම රන්මාලය පැමිණිලිකාරියගේ ගමන් බෑගයට දමන මුවාවෙන් එසේ නොකර විත්තිකාරිය එය අස්ථාන ගත කිරිමේ සිද්ධියක් සම්බන්ධව එම දිනවලදී ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඩ් භාරයේ රඳවා සිට ඇපමත මුදාහැරීමෙන් අනතුරුව චෝදනා පත්‍රයක් ගොනුකොට තිබූ බවද පොලිස් සැරයන්වරයා කීය.
 මේ අනුව නඩුව විභාගයට ගැනීමට නියම කිරීමෙන් අනතුරුව 2019-07-26 වැනිදා සිට විත්තිකාරිය අධිකරණය මගහැර මඩකළපුව ප්‍රදේශයට පැන ගොස් සිටි බවත් ඒ අනුව ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ පවත්වමින් සිටියදී මඩකලපුවෙන් නැවත පැනවිත් වරකාපොල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිස් සැරයන්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.
නැවත කැඳවීම ජුලි 02 වැනිදාට කල් තැබිණි.
 මීරිගම පොලිසියේ පොලිස් සැරයන් එච්. එම්.ආර්.ආර්. හේරත් එච්.ඇම්.ආර්.ජේ. හේරත් මහතා පැමිණිල්ල මෙහෙයවිය.
(වාරණ - ආනන්ද ඉ.ජයකොඩි)