දැනට රැදවුම් නියෝග යටතේ රහස් පොලීසියේ රඳවාගෙන සිටින තම සැමියා වහාම මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොහොයුරාගේ බිරිඳ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි 06 වැනිදා කරුණු තහවුරු කිරීමට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) නියම කළේය.



එසේම පෙත්සම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් හත්දෙනාට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසි බාර දෙන්නැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

 මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ කැඳවිණි. මොහොමඩ් රියාජ් බදියුදීන් නැමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ෆාතීමා ඉස්රත් නැමැත්තිය ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් වැඩබලන පොලිස්පති ඇතුළු හයදෙනෙක් නම් කරනු ලැබ සිටිති. පෙත්සමේ මෙසේද සඳහන් වේ. පෙත්සම්කරු හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොහොයුරෙකි. ඔහු උපාධිධාරියෙකු වන අතරම ප්‍රකට ව්‍යාපාරිකයෙකි.

පසුගිය අප්‍රේල් 14 වැනි දා පෙත්සම්කරු නිවසේ සිටියදී රහස් පොලිස් කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. මෙම අත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් නොමැත.

පාස්කු ඉරිදා සිද්ධිය පිළිබදව පෙත්සම්කරුගේ සැමියා අත්අඩංගුවට ගත් බව නීතිඥයකු මාර්ගයෙන් දැන ගත්තට ලැබිණි. පසුව පෙත්සම්කාරිය ගේ සැමියා වන රියාර් බදියුදීන් අත්අඩංගුවට  ගනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට බව මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරිණි. පෙත්සම්කාරියගේ සැමියා ඔහුගේ සොහොයුරා වන හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ දේශපාලන පක්ෂ කටයුතු වලට සහාය දැක්වූ අයෙකු ද වේ. ඔහු අත්අඩංගුවට ගැනීමේ යටි අරමුණ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ ප්‍රතිරූපය හානි කිරීමයි.

මෙම අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ. මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, තම සැමියා මුදා හැරීමට නියෝග කරන ලෙසද, ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සම්කරු සිය පෙමින් ඉල්ලා සිටී. පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අතර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙනී සිටියේය.

(රන්ජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)