චිත්‍රපට වලට රඟපෑමට තෝරාගැනීමේ සිට ඒවා ප්‍රදර්ශනය දක්වා ඒ ඒ ඥාති පරම්පරා ආධිපත්‍ය දරන ස්වරූපයක් බොලිවුඩයේ දක්නට ලැබේ. දිවිනසාගත් සුෂාන්ත් සිං රාජ්පුත් මෙම ඥාති කණ්ඩායමකට අයත් අයෙකු නොවූ නිසා ඔහුට විවිධ කෙණෙහිලිකම්වලට ගොදුරුවන්නට සිදුව ඇත.
මාස 06 ක් වැනි කෙටි කාලයක් තුළ සුෂාන්ත් ගිවිසුම් ගතව සිටි චිත්‍රපට 07 ක් ඔහුට මෙවැනි හේතු මත අහිමි වූ බව වාර්තාවී තිබේ.
“මා රඟපාන චිත්‍රපටි ඔබ නැරඹුවේ නැත්නම්
ඔවුන් මාව බොලිවුඩයෙන් ඉවත දමයි. මගේ පසුපස විශේෂ අනුග්‍රයක් දක්වන පුද්ගලයෙකු නැහැ. මට අනුග්‍රහය දක්වන්න සිටින්නේ ඔබය. මා බොලිවුඩයේ රැඳී සිටිනවා දක්නට කැමති නම් එම චිත්‍රපටි නරඹන්න.” මේ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ වදන්ය. ඔහුගේ චිත්‍රපටි නරඹන ලෙස රසික රසිකාවන්ගෙන් ඉල්ලා සිටිමින් ඔහු පැවසූ දේවල් ඔහුගේ ඉන්ස්ටග්‍රම් ගිණුමේ දක්නට ලැබේ.
ඉරිදා රාජ්පුත්ගේ මරණයෙන් පසුව බොලිවුඩයේ මේ කියන ඥාති සංග්‍රහයට බැණ වදිමින් සමාජ මාධ්‍යයේ බොහෝ පෝස්ටු පළ විය. රාජ්පුත්ගේ මරණයට හේතුව බොලිවුඩ් සිනමාවේ නෑදෑ හිතවතුන්ට විශේෂ අනුග්‍රයක් දැක්වීම බව ඒවායේ සඳහන් විය.

‍රාජ්පුත් මෙවන් තීරණයකට එලඹීමට බලපා ඇත්තේ මානසික අවපීඩනය බවට කියැවේ. ඔහුගේ මරණින් පසුව බොහෝදෙනා වාද කරන්නේ ඔහුව කිසිදාක බොලිවුඩය මගින් පිළිගන්නා ලද යැයි හැඟීමක් ඔහු තුළ ඇති නොවූ බවත් බොලිවුඩය මගින් තමා ‘පිටස්තරයෙකු’ ලෙස ඔහුට හැඟීමට ඔහුට සැලැස්වූ බවත්ය.

බොලිවුඩයේ නෑදෑ හිතවතුන්ට අනුග්‍රහය දැක්වීම අවසන් විය යුතු බවත් ඒ වෙනුවට සැබෑ සිනමා ශිල්පීන් ඒ වෙත අවතීරණය විය යුතු බවත් බොහෝදෙනාගේ අදහසය. නමුත් තවත් පිරිස් කියා සිටින්නේ සිනමා ශිල්පීන්ගේ දරුවන්ද සුදුසුකම් රහිතව වුවත් බොලිවුඩ් සිනමාවට යොදාගැනීම වැළැක්වීමට කළ හැකි කිසිවත් නොමැති බවය.

“දක්ෂතාවයට අනුව අවස්ථාව ලබා දිය යුතුය. ඒ වෙනුවට නෑදෑ හිතවත්කම් මත එසේ නොකළ යුතුය. දක්ෂතාවය පෙන්නුම් කෙරෙන්නේ ඔහුගේ රංගනය මගින් මිසක් පරපුර මත නොවේ” කියා රංගන ශිල්පි රනිව් ශොරෝ පවසයි.

බොලිවුඩයේ නෑදෑ හිතවතුන්ට විශේෂ අනුග්‍රහයක් දක්වන බවට සිනමා පවුලකින් පැවත නොඑන තාප්සී පානු නමැති රංගන ශිල්පිනිය එකඟත්වය පළ කරයි.

නළු නිළියන් තෝරාගැනීමේදී ඔවුන්ගේ සුදුසුකම් මැන බැලීමේ ඒකකය පිළිබඳව ඇය ප්‍රශ්නයට නඟන්නීය. “යම් චරිතයක් රඟ දැක්වීම සඳහා අවශ්‍ය දක්ෂතා ඒ සඳහා යොදාගැනෙන පුද්ගලයන්ට තිබෙනවාද නැත්නම් එම පුද්ගලයාව තෝරාගෙන තිබෙන්නේ වෙනත් නෑදෑ හිතවත්කමක් මතද යන්න සොයාබැලීමට සිටින්නේ කවුද? මෙය ප්‍රේක්ෂකයන් මත රඳා පවතින කරුණක්ය. නිවැරදි දක්ෂතාවය හඳුනාගැනීමට මිනිසුන් අවධානයෙන් කටයුතු කළ යුතුය” කියා ඇය පවසයි.

එතරම් සාර්ථක නොවන නළු නිළියන්ව යොදාගැනීම පසුගිය දින දෙක පුරාවට බොහෝ දෙනාගේ සංවාදයට ලක් විය.
“මිනිසුන් ගැන තැන තැන වැරදි දේ කතා කිරීම නවත්වන්න” කියා ඉල්ලා සිටිමින් නළුවන් වන කන්ගනා රනෝත් සහ සිකන්දර් ඛේර් වීඩියෝ පළ කර තිබුණි. රංගන ශිල්පි විවේක් ඔබෙරොයි සංවේදී සටහනක් තබමින් “මගේ පෞද්ගලික අත්දැකීම රාජ්පුත් සමග බෙදාගෙන ඔහුගේ වේදනාව සමනය කරගනැනීමට උපකාර කිරීමට මට තිබුණා” කියා පැවසූ බව “ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පතේ වාර්තා විය. අමෝල් පරාෂර් ට්විටර් මාධ්‍ය ජාලය වෙත පළ කර තිබුණේ, “තරුණ රංගන ශිල්පියෙකු ලෙස මෙම සිදු වීම තමා තුළ කම්පනයක් ඇති” කළ බවය.

එමෙන්ම “මෙවන් අස්ථීර වෘත්තියක නිරත වන්නන්ට බලාපොරොත්තුවක් ලැබෙන මාධ්‍යයක් තිබිය යුතු” බව ඔහු කියා සිටියේය.
චිත්‍රපටි නිර්මාතෘ හැන්සල් මෙහ්තා ට්වීටර් ගිණුමෙහි “පිටස්තරයන්ට” අනතුරු අඟවා තිබුණි. ඔහු එහි සඳහන් කර තිබුණේ බොලිවුඩයේ “ඔබව අවශ්‍ය වන තෙක් මීළඟ විශිෂ්ටයා ඔබ බව දැනීමට ඔවුන් සලස්වනවා. නමුත් ඔබ පැකිලුණු වහාම ඔවුන් ඔබට සිනා සී ඔබව අතහරිනවා” කියාය.
රංගන ශිල්පී ගුල්ශාන් දේවයියා කියා තිබෙන්නේ නෑදෑ හිතවතුන්ට අනුග්‍රහය දැක්වීම පුද්ගලයෙකුගේ වෘත්තියට කිසිදාක ඇතුල් නොවිය යුතු බවය.

‍රාජ්පුත්ම එක් අවස්ථාවක මෙසේ පැවසූ බව වාර්තා වේ. “නෑදෑ හිතවතුන්ට අනුග්‍රහය දැක්වීමද දක්නට ලැබිය හැකියි. නමුත් සැබෑ දක්ෂතාවය ඉහළට ඒම ඔබ හිතාමතාම වළක්වනවා නම් එහි ගැටලුවක් තිබෙනවා.”
මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා බොහෝ පුද්ගලයන්ගේ කතාබහට ලක් වී තිබේ. “පුද්ගලයෙකුගේ මරණයක් නිසා පෙම්වතියකට, කලින් සිටි පෙම්වතියකට, පවුලේ සාමාජිකයන්ට, එකට රැකියාවේ නිරත වන හෝ අධ්‍යාපනය ලබන්නන්ට දොස් නැඟීම නූගත් කමක් සහ අඥානකමක්” කියා ‍‍සෝනම් කපූර් පවසා තිබේ. නමුත් ජෝහාර් මේ පිළිබඳව තවම කිසිවක් පවසා නොමැතිය.

යම් පුද්ගලයෙකුගේ මරණය හේතුවෙන් නෑදෑ හිතවතුන්ට විශේෂ අනුග්‍රහයක් දැක්වීම පිළිබඳව දොස් පැවරීම “මෝඩ” ක්‍රියාවක් බව කෝමාල් නහ්තා පවසයි. “සිනමා කලාවට නරක නමක් එක් කරන්නන් සිටින්නේ අතළොස්සක් පමණය. සම්පූර්ණ සිනමා කර්මාන්තයම කරාන් ජොහාර්ට සහ ආදිත්‍ය චොප්රාට යටත් වීමට තරම් ඔවුන් බලවතුන්ද? අනෙකුත් චිත්‍රපටි සඳහා රාජ්පුත්ව තෝරා නොගත්තේ මන්ද? එසේ සිදු වූයේ ඔහු රඟ පෑමට කැමති චිත්‍රපටි පිළිබඳව නිතර තේරීමක් සිදු කළ නිසාය. එමනිසා ඔහුට අවස්ථාව නොලැබුණේ ඔහුගේම තේරීම මගින්ය” කියා නහ්තා තවදුරටත් ප්‍රකාශ කළේය.

පානු කියා සිටියේ, “රාජ්පුත්ගේ මරණය පිළිබඳව අදහස් දක්වන්නන් මෙම ක්ෂේත්‍රයේ යහපත් වෙනසක් සිදු කළ හැක්කේ කෙසේද කියා තම‍ාගෙන්ම අසාගත යුතු” බවය.
මේ අතර ශේඛාර් කපූර් ඉන්ස්ටග්‍රම් වෙත සටහන් කර තිබෙන්නේ මෙසේය. “ඔබ මුහුණ දෙමින් සිටි වේදනාව මා දැන සිටියා. ඔබව පහතට ඇද දමන පුද්ගලයන් පිළිබඳව කතන්දරය මා දැන සිටියා. පසුගිය මාස 6 ඇතුළත මා ඔබ අසල සිටින්නට තිබූ බව මට සිතෙනවා. ඔබ තුළ ඇති වූ කනස්සල්ල ඔබ මා සමඟ බෙදාගත්තා නම් කියා මට සිතෙනවා.”

(“ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” ඇසුරිනි)
එස්. දහනායක
[June18, 2020 - Gossiplankanews.com]