ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියෙකු වූ රජිව් ප්‍රසාද් ජයවීර මහතා සියදිවි නසාගැනීමට යොදාගත් බව කියන ගිනිඅවිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරිය සේනාරත්න මහතා පැවසීය.


පොයින්ට් දෙකයි දෙක ඇරිස්ට්‍රා වර්ගයේ ගිනි අවියක් වන එය ඉලක්කයට වෙඩි තැබීම ඇතුළු ක්‍රියා සදහා යොදාගන්නා එකක් බවත්, එම වර්ගයේ ගිනිඅවිවලට බලපත්‍ර අවශ්‍ය නොවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. පසුගිය 12 වන දින උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ ගසක් යට වැටී තිබියදී මළසිරුර සොයාගත් අතර ගිනිඅවිය මළසිරුරට යටවී තිබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියන්ගේ නියෝග මත සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හිසට වෙඩි වැදී සිදුවූ හානි හේතුවෙන් මරණය සිදු වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබිණි.

ජයවීර මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තබා පෙරේදා (13දා) බොරැල්ල කනත්තේදී භූමිදානය කෙරිණි.

සියදිවි නසාගත් ජයවීර මහතා පැය කිහිපයකට ඉහතදී සහෝදරයාට ලියූ ඉංග්‍රීසියෙන් පරිගණකගත කළ ලිපියක් පොලීසියට හමු වී තිබූ අතර රුපියල් එක්ලක්ෂ පනස් එක්දහස් පන්සියයක මුදලකට එය මිලදී ගත් බවට සඳහන් වූවද කාගෙද, කොහෙන්ද යන්න සඳහන්ව නොතිබුණ බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ නමුත් එම ගිනිඅවියේ අනුක්‍රමික අංකය ඔස්සේ දීර්ඝ විමර්ෂනයක් සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. කුරුඳුවත්ත පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර කේස්නානායක මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)