පොලිස් කොස්තාපල්වරයකු බවට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි ජාත්‍යාන්තර පොලිස් සංගමයෙන් හැඳුනුම්පතක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොහු ජාත්‍යන්තර පොලිස් හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා
පැමිණි බවට සඳහන් කරමින් පෙරේදා (15) දහවල් මෙලෙස ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ඇතුලුවී සිටි බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඳුරුප්පුවීදිය පදිංචි (23) හැවිරිදි තරුණයකු බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


මෙම තරුණයා පෙරේදා දහවල් පොලිස් කොස්තාපල්වරයකු වශයෙන් පෙනී සිටිමින් ජාත්‍යන්තර පොලිස් සංගමය වෙත ගොස් සිය ජාත්‍යන්තර හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය බව පවසා පොලිස් ක්ෂේත්‍ර බලකාය මූලස්ථානයට ඇතුළුවී ඇති බව එම
නිලධාරියා කියා සිටියේය.

මොහු ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ඇතුළුවී මීටර් 300 පමණ දුරගොස් ජාත්‍යන්තර පොලිස් සංගමය පිහිටි ස්ථානයට ගමන් කරමින් සිටියදී පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිටින වෙනත් උසස් පොලිස් නිලධාරියකු ඉදිරියට හමුවී ඇති බවත් ඔහු එම උසස් නිලධාරියාට නිසි ගෞරවයක් නොදක්වා ඉදිරියට යමින් සිටියදී ඒ හේතුවෙන් මොහු පිළිබඳව සැකයක් ඇති වී ප්‍රශ්න කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම උසස් නිලධාරියාගේ දැනුම් දීම අනුව එහි සිටි පොලිස් නිලධාරීන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ පොලිස් අංකය වශයෙන් ද අංකයක් ඉදිරිපත් කර ඇති බවත් එම අංක පරික්ෂා කිරිමේදී එය වෙනත් පොලිස් නිලධාරියකුට අයත් එකක් බවත් හෙළි වී ඇත.


 එම අංකය හිමි පොලිස් කොස්තාපල්වරයා දැනට පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කරන බවට හෙළි වූ බවද පොලිස් ආරංචි මාර්ග කියයි. ක්ෂේත්‍ර බලකා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු මෙහිදී වැඩිදුර පරික්ෂණ සඳහා නාරාහේන්පිට පොලිසියට බාර දී ඇත.

 මෙම සැකකරු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ඇතුළු වී කිසිඳු බියක් හැකක් නොමැතිව එහි මීටර් 300 ක් පමණ දුර ගොස් ජාත්‍යන්තර පොලිස් සංගමය අසලට ගමන් ගැනීම සම්බන්ධයෙන් පොලීසියට ගැටලු රැසක් හටගෙන ඇති බවත්, එසේ ගමන් ගැනීමට ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිටින කිසිවකු මොහුව මෙහෙයවා ඇති බවට සැකකරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කිසියම් අන්තවාදී කල්ලියකට සම්බන්ධ පුද්ගලයකු දැයි හෙළි කර ගැනීමට පරීක්ෂණ සිඳුකරන අතර ඊයේ පස්වරුවේ ඔහු වැඩිඳුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී තිබුණි.

(ඉන්දිකා රාමනායක සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)