අවම වශයෙන් වසරක්වත් අගනුවර මගීන් සඳහා මුඛ ආවරණ නව සාමාන්‍යයක් වනු ඇති බව ලන්ඩනයේ නගරාධිපති සාදික් බාන් අවධාරණය කරයි.
 නව කොරෝනා වෛරසය ආසාදන අනුපාතය අඩු මට්ටමක තබාගැනීමට සහ මාරාන්තික වෛරසයේ
දෙවැනි රැල්ල වළක්වා ගැනීමට එංගලන්තය පුරා පොදු ප්‍රවාහනයට ආරක්ෂිත මුඛ ආවරණ අනිවාර්ය කර තිබේ.
නව නීති ආරම්භ කිරීම සඳහා දහස් ගණනක් බස්රථ හා දුම්රියවල නොමිලේ මුඛ ආවරණ ලබාදීමක් සිදුව ඇති අතර, නීති කඩ කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලීසියේ අමතර 3,000ක කණ්ඩායමක් යෙදවා ඇති බවද නගරාධිපතිවරයා කීවේය. ඒ අනුව මුඛ ආවරණ පැලඳ නොසිටින අයට පවුම් 100ක දඩ මුදලකට යටත් වීමට සිදුවනු ඇත.
"මෙය නව සාමාන්‍ය තත්වයේ කොටසක්. යථාර්ථය වන්නේ, අපේක්ෂා කළ අනාගතයක් සඳහා, එනම් තවත් වසරවත් මුඛ ආවරණය පැලඳීම ව්‍යතිරේඛයකට වඩා සම්මතයක් බවට පත්වනු ඇති බවයි" සාදික් බාන් පවසා සිටියේය.
කෙසේ වෙතත් මුඛ ආවරණයක් පැලඳිය නොහැකි ආබාධිත අයෙකුට රියදුරුට හෝ කොන්දොස්තරට සිය සංචාරක ආධාර කාඩ්පතක් පෙන්වා එය පැලඳ නොසිටීමේ වලංගුතාව ප්‍රකාශ කළ හැකි බව එරට මගී ප්‍රවාහන සමේලනයේ විධායක ග්‍රැහැම් විඩ්ලර් සඳහන් කළේය.

 "ජනතාව මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම්, ඉන් හානිය සිදුවන්නේ ඔහු සමීපයේ සිටින අනෙක් පිරිසටයි. සමස්ත සමාජයටමයි. සමස්ත රටටමයි.
මෙය අවසානයේදී මගීන්ගේ කැපවීම හා උද්යෝගය මත රඳා පවතිනු ඇති." ග්‍රැහැම් විඩ්ලර් වැඩිදුරටත් පවසා සිටියේය.
කෙසේ වෙතත් පසුගියදා ලන්ඩනයේ දී සාප්පු සංකීර්ණ යළි විවෘත කිරීමත් සමග සැතපුම් ගණන් දීර්ඝ පෝලිම්වල ජනතාවූ එකා පිට එකා පොදිකන ආකාරය දැකගත හැකි විය. එහිදී බොහෝ දෙනෙකු මුඛ ආවරණ පැලඳ නොසිටි අතර, සමාජ දුරස්ථකරණ නීති සහ අත් සේදීවීමේ සනීපාරක්ෂක ක්‍රියා අමතක කර කටයුතු කරන ආකාරයක් විදෙස් වාර්තාවල දැක්වුණි. මෙම තත්ත්වයද ලන්ඩන් නගරාධිපතිවරයාගේ අවධානයට යොමුව ඇති අතර, මේ ආකාරයෙන් නීති බලාත්මක කිරීම තුළින් නව කොරෝනා වෛරසය ආසාදන අනුපාතය අඩු මට්ටමක තබාගැනීමට සහ මාරාන්තික වෛරසයේ දෙවැනි රැල්ල වළක්වා ගැනීමට හැකිවනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන්නේය.