පිලිපීනයේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් කලාවේදිනියකට ‘සයිබර් අපහාස’ පිළිබඳ චෝදනාවක් එල්ල වී තිබීම ලොව පුරා අවධානයට ලක්ව ඇත. ඒ හේතුවෙන් ඇයට වසර 6ක සිර දඬුවමක් නියම වීමට ඉඩ ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙයි.
මීට පෙර CNN පුවත් වාර්තාකාරිනියක් ලෙස කටයුතු කර ඇති දැනට Rappler යන සුප්‍රසිද්ධ අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවිය පවත්වායන  මාරියා රෙසාට චෝදනා එල්ල වී තිබෙන්නේ
2012දී බලවත් ව්‍යාපාරිකයෙකු පිළිබඳව පළ කළ ලිපියක් හේතුවෙන්ය.
එම රටෙහි ජනාධිපතිවරයා වන රුද්‍රිගූ මහතා 2016දී බලයට පැමිණි දා සිට ඔහුගේ ඒකාධිපති පාලනය පිළිබඳව රෙසා විවේචනය කර ඇති බව සඳහන්ය. Rappler වෙබ් අඩවිය “අසත්‍ය තොරතුරු” ලබා දෙන එකක් බවට අවස්ථා ගණනාවකදීම එම ජනාධිපතිවරයාගේ විවේචනවලට පාත්‍ර විය.


රෙසා විසින් සයිබර් අපහාසයක් සිදු කර තිබෙන බවට ඇයට සහ Rappler වාර්තාකරුවෙක් වන රෙනාල්ඩෝ සැන්ටොස්ට චෝදනාවක් එල්ල කර තිබෙන්නේ විල්ෆ්‍රෙඩෝ කෙං නමැති ව්‍යාපාරිකයා විසින්ය. කෙං මහතාව දූෂණයට, මත්ද්‍රව්‍ය සම්බන්ධ කරුණකට, මිනිස් ජාවාරම්වලට සහ මිනී මැරුම්වලට සම්බන්ධ කරමින් Rappler වෙබ් අඩවියේ 2012 මැයි 29වෙනිදා වාර්තාවක් පළ වූ බව සඳහන් වේ.

එම ලිපියේ, නිශ්චිතව සඳහන් නොකළ බුද්ධි අංශ වාර්තාවකට යොමු දක්වා තිබූ අතර විනිසුරු රෙයිනෙල්ඩා එස්ටාෂියෝ-මොන්ටෙසා පැවසුවේ, එම “ලිපියේ එල්ල කර තිබූ චෝදනා පිළිබඳව කිසිම සාක්ෂියක් ඉදිරිපත් කිරීමට” Rappler අසමත් වූ බවය.
කෙං මහතා තමාට එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරයි. රෙසාව සහ ඇගේ වාර්තාකරුව වරදකරුවන් ලෙස ප්‍රකාශ කිරීමේදී විනිසුරුවරිය කියා සිටියේ එමගින් පිලිපීනය තුළ මාධ්‍ය වාර්තාකරුවන්ගේ නිදහස උල්ලංඝනය නොකරන බව සහ එම නිදහස භාවිත කළ යුත්තේ “අනෙකුත් පුද්ගලයන්ගේ නිදහසට නියමිත සැලකිල්ල ලබා දෙමින්” බවය.

එමෙන්ම මෙම කාරණය කෙරෙහි එරට ආණ්ඩුවේ මැදිහත් වීමක් නොමැති බවද ඇය පැවසූ බව වාර්තා වේ. රෙසාව දින 15කට ඇප මත නිදහස් කර තිබෙන අතර ඇයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. එහෙත් ඇය අභියාචනයක් ඉදිරිපත් නොකළොත් ඇයට සිර දඬුවම නියම වන අතර අවුරුදු 6ක් දක්වා සිරගත වීමට ඉඩ තිබේ.
එරට ජනාධිපතිතුමා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයේදී පොලීසිය විසින් දහස් ගණනක්ව මරණයට පත් කිරීම පිළිබඳව වාර්තා කිරීමට මූලික අවධානය දුන් Rappler කියා ඇත්තේ එම ක්‍රියාකාරකම් සීමාව ඉක්මවා යෑමක් බවය. Rappler නිහඬ කිරීමට ආණ්ඩුව විසින් උත්සාහ කරන බව පවසමින් ඇය නිතර ආණ්ඩුවට දොස් පවරා ඇති බව සඳහන්ය. රුද්‍රිගූ මහතා බලයට පත් වීමෙන් පසුව රැප්ලර් සහ එහි කාර්යමණ්ඩලය නීතික ගැටලු 11කට පමණ මුහුණ දී ඇති බව වාර්තා වේ. ඒවාට බදු ගෙවීම මඟ හැරීම සහ විදෙස් ආධාර ලබාගැනීම අයත්ය.

දඬුවම ලැබීමෙන් පසුව මාධ්‍ය හමුවකට එක් වූ රෙසා පැවසුවේ තමන් ලද තීන්දුව තමා තුළ විශාල කම්පනයක් ඇති කළ බවය. පිලිපීනයේ මාධ්‍ය නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වී ඇති බවද ඇය පැවසීය. මේ පිළිබඳව සටන අත්නොහරින බව ඇගේ අදහසය.

කෙසේනමුත් රෙසාව සහ සැන්ටොස්ව වරදකරුවන් බවට පත් කළ සයිබර් අපරාධ නීතිය වලංගු වී තිබෙන්නේ 2012 සැප්තැම්බර් සිටය. එනම් අදාළ ලිපිය ඔන්ලයින් මාධ්‍යයේ පළ වී මාස හතරකින් පසුවය.
Rappler වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ පූර්ව සිදු වීමක් සඳහා කලින් පනවන ලද නීතියක් යොදාගත නොහැකි බවය. එමෙන්ම පිලිපීන නීතියට අනුව, කළා යයි පවසන වරදක් පිළිබඳව චෝදනාවක් ගොනු කරන්නේ නම් එය එම වරද සිදු වූවා කියා පිළිගැනෙන දින සිට අවුරුද්දක් ඇතුළත එය ගොනු කළ යුතු බව ඔවුහූ වාද කරති. කෙං මහතා තම චෝදනාව ගොනු කර තිබෙන්නේ 2017දීය.

නමුත් 2014 පෙබරවාරි දිනදී Rappler මගින් 2012දී පළ වූ ලිපියේ යම් අලුත් කිරීමක් සිදු කර තිබෙන අතර Rappler පැවසුවේ ටයිපිං අතපසුවීමක් ඇතුළත් එක් වචනයක් පමණක් එසේ නිවැරදි කළ බවය. ඉන් අදහස් වූයේ පසුව පනවන ලද අලුත් නීතියට එම ලිපිය යටත් වූ බවට පසුව පවසන ලදි.
මෙය අධිකරණය විසින් පිළිගන්නා ලදි. එමෙන්ම චෝදනාව එල්ල වූයේ සම්ප්‍රදායික ලිඛිත අපහාස නඩුව මත පදනම්ව නොව සයිබර් අපරාධ නඩුව යටතේ වීම හේතුවෙන් කළා යැයි සැලකෙන වරද සිදු වූ දිනයේ සිට අවුරුදු 12ක් දක්වා කාලයක් පුරාවට චෝදනා ගොනු කිරීමේ නිදහස තිබේ.

සඳුදා දින Rappler වෙත එල්ල කර තිබූ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අන්තර්ජාතික අයිතීන් පිළිබඳ කණ්ඩායම සහ මානව හිමිකම් නිරීක්ෂණය කිරීමේ කණ්ඩායමේ ෆිල් රොබට්සන් පැවසුවේ එම චෝදනාව පිලිපීනයේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන මාධ්‍ය නිදහසට ප්‍රහාරයක් එල්ල කළ බවයි.
අන්තර්ජාතික පොදු සමාව පිළිබඳ මණ්ඩලය පවසා තිබෙන්නේ මෙම චෝදනාව “රැවටිල්ලක්” කියා සහ එය නිෂ්ප්‍රභ කළ යුතු බවය.
Rappler වෙබ් අඩවියට මෙන්ම පිලිපීනයේ විශාලතම රූපවාහිනී ජාලය වන ABS-CBN මාධ්‍යයටද මෑතකදී එහි ජනපතිගේ විවේචන එල්ල වූ බව වාර්තා විය. රජයේ සන්නිවේදන නියාමනය මගින් එහි බලපත්‍රය අලුත් නොකිරීම හේතුවෙන් පසුගිය මාසයේදී එහි විකාශන කටයුතු නැවතීමට සිදු වූ බව වාර්තා විය. එය නැවත අලුත් කිරීම පිළිබඳව පිලිපීන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් වන බවට සඳහන්ය.

(“ද ඉන්ඩිපෙන්ඩන්ට්” ඇසුරිනි)
එස්. දහනායක
[June17, 2020 - Gossiplankanews.com]