ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබීමක් සම්බන්ධයෙන් වාර්තාවේ.
පසුගියදා සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියලු මගීන්
එහිදීම පීසීආර් පරීක්ෂණයට ලක්වීම සිදු කළ යුතු බවට අනිවාර්ය කර තිබෙන පසුබිමක දැනට ලොව භයානකම කොරෝනා ආසාදනය පවතින ඇමරිකාව නියෝජනය කරමින් එරට නිලධාරියෙකු මෙසේ අනාරක්ෂිතව පැමිණිම ගැටලුකාරී තත්වයක් මතු කර තිබේ.
මෙම නිලධාරියා තානාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණයකට ලක් නොකොට මුදා හළ බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මාධ්‍ය කළ විමසීමකදී පවසා ඇත.
රාජතාන්ත්‍රික මට්ටමින් පැමිණෙන නිලධාරින් තානාපති කාර්යාල විසින් ස්වයං නිරෝධායනයකට යොමු කරන බැවින් ගුවන් තොටුපොළදී එම කාර්යයෙන් නිදහස් කළ බව උප සභාපතිවරයා දන්වා ඇත.
අද දින අලුයම 1.30 ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොළඹ තානාපති කාර්යාලය සඳහන් කළේ, තම රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ ජාත්‍යන්තර සම්මුති, ප්‍රමිතීන් හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු වන බවත්
එලෙස ස්වයං නිරෝධායනයට ලක් කරනු ලබන නිලධාරීන් පසුව PCR පරීක්ෂණයන්ට ලක් කොට ඊට අදාළ වාර්තාවන් රහස්‍ය වාර්තාවක් ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කිරීම පවතින පටිපාටිය බවයි.