නාධිපතිවරයාගේ නියෝග පරිදි මේ වනවිට ආරක්ෂක අංශ අපරාධකරැවන් පසුපස දිගටම පන්නමින් සිටියි. නීතියට වංගු ගසමින්, විවිධ තැන්වල සැඟව සිට කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, මිනීමැරුම් සිදුකරන අපරාධකරුවන් දැන් ඉන්නේ බියෙන්ය. ඒ මෙතුවක් කල් සිදුකළ අපත වැඩවලට දැන් ඉඩකඩක් නැති නිසාය.
කෙසේ වෙතත් මේ සියල්ලට ආරක්ෂක අංශ මැදිහත්ව මෙහෙයුම් සිදුකරන විට ඕනෑම තැනක මෙන් කිරිකළයට ගොම බිඳුවක් හැලීමට
එකෙකු දෙන්නකු සිටීම සාමාන්‍ය දෙයකි. ඒ මේ රටේ හැටිය. ඒ කතාව තව තවත් සනාථ කරමින් පසුගිය සතියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ කෙරුවාවක් ගැන එළියට ආවේය. එය ඇත්තද බොරුද දන්නේ නැත. එහෙත් පොලීසිය විසින්ම පොලීසියට එරෙහිව එන චෝදනාවක් නිසා එකවර බැහැර කරන්නටද බැරිය.


චෝදනාව වන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් කෝටි 100ක කුඩු තොගයක් විකිණීම ගැනය. එය බරපතළ චෝදනාවක් වන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාව තුළ මෙවැනි දෙයක් සිදුවන බවට චෝදනා එල්ලවීම ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයටත්, පොලීසියටත් සිදුවන අපකීර්තියකි. එහෙත් එම චෝදනාව දැන් එල්ල වී හමාරය.

පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයක් ජූනි 11වැනිදා විකිණීමේ චෝදනාව මෙලෙස එල්ල වන්නේ එක් පොලිස් කණ්ඩායමකටය. මාකඳුරේ මධූෂ්ගේ ළඟම ගෝලයකු වන ගිහාන් නැමැති අයකුට අයත් මේ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 100කට ආසන්න බව සඳහන් වේ. ඉන් කිලෝ 24ක් අලෙවි කර ඇති අතර ඒ කිලෝ 24 ලබාගත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ අයකු හරහා මෙය හෙළිවී ඇති බව සඳහන් වේ. එහෙත් ඉතිරියට සිදුවූ දෙයක් නැත.

කෙසේ වෙතත් උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ එම කුඩු තොගය දකුණු පළාතේ සඟවා ඇති බවට මේ වනවිට හෙළිවී ඇති බවය. ඒ අනුව අදාළ පොලිස් කණ්ඩායමේ හයදෙනා රහස් පොලීසිය මගින් රඳවාගෙන ප්‍රශ්න කරන බව සඳහන් වේ.
මේ වනවිට ඊට අදාළ සීසීටීවී පවා මිනුවන්ගොඩ පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය. කෙසේ වෙතත් මෙම පොලිස් නිලධාරීන් පවසන්නේ මීට කිසිදු සම්බන්ධයක් නැති බවය. ඒ නිසා ඇත්ත නැත්ත සියල්ල පොලීසිය හා සතුය. එහෙත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ විය හැකිදැයි බොහෝදෙනා ඉන්නේ කල්පනාවෙනි.


• මාකිලංගමුව සංජිවගේ වෙඩික්කරු

ගම්පහ පාතාලයට පමණක් නොව රටටම හෙණයක් වී සිටින මාකිලංගමුවේ සංජීව දැන් ඉන්නේ හිරේය. බූස්සේය. සංජීව කූඩුවට වී දුරකථනයෙන් වටේම කප්පම්, කුඩු මිනීමැරැම් සිදුකරමින් සිටියි. ඔහු විසින් 2018 වසරේදී කුලියට මිනීමැරැමක් කඩවත ප්‍රදේශයේ සිදුකරන අතර ඇය කාන්තාවකි. බූරු මෙන්ඩිස් නැමති අයගේ බිරිඳව මෙලෙස ඝාතනය කරන්නේ රුපියල් 50,000 කුඩු පැකට් කීපයක් ලබාදෙමින්ය. ඒ ඝාතනය සඳහා යන්නේ කැටවලපිටියේ සම්පත් නැමැති දරුණු ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. අවුරැදු 25ක් වන මෙම තරුණයා එතැනින් පසුව තවත් ඝාතන රැසකට උත්සාහ කළ අයෙකි. මේ නිසාම සැකකරැ අත්අඩංගුවට ගැනීමට පසුගිය සිකුරාදා අලුයම මල්වතු-හිරිපිටිය ප්‍රදේශයට ගිය අවස්ථාවේ පොලිසියට වෙඩි තැබීමට ගොස් වෙඩි කා මියගියේය. මේ ඝාතනයත් සමඟ එදිනම දහවල් වනවිට සංජිවගේ කල්ලිය කැළඹී ඇති අතර කීපදෙනෙක් ආයුධ සඟවා සැඟව සිටින බවද දැනගන්නට ඇත.
මේ වනවිට සංජීව බූස්ස කඳවුරේ සිටින නිසා සම්බන්ධ කර ගැනීමට හැකියාවක් නැත. ඒ නිසා සංජීවගේ ගෝලයන්ට උපදෙස් ලබා ගැනීමට නොහැකිව සිරවී සිටින්නේය.

• බූස්ස කඳවුරේ උපවාස

දරැණු පාතාල සාමාජිකයන් වන කංජිපාණි ඉම්රාන්, පොට්ට නවුෆර්, මාකිංලගමුවේ සංජීව, කොස්ගොඩ තාරක, පොඩි ලැසී ආදී අය දැන් සිටින්නේ බූස්ස කඳවුරේය. මේ වනවිට බූස්ස කඳවුර විශේෂ කාර්ය බළකායට පවරා දී ඇති නිසා දැන් දුරකථන සංවාද සිදුකරන්න හැකියාවක් නැත. එසේම සිරකරුවන් ව්‍යායාම සඳහා ගන්නේද ඉතාම සුළු වෙලාවකටය. මෙතුවක් කල් ගෙදර මෙන් සිටි අපරාධකරැවන්ට මෙය දරුණු මානසික ආතතියක් වී ඇත. ඒ නිසා ඒ නිදහස අහිමිවීමට එරෙහිව ඔවුන් දැන් උපවාසයක් පසුගිය සිකුරාදා ආරම්භ කර තිබුණි. ඒ ආහාර ගැනීම අත්හරිමිනි.

කෙසේ වෙතත් මෙය මෙහෙයවා ඇත්තේ පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක විසින් බව සඳහන් වේ. එහෙත් මේ සඳහා කිසිදු ප්‍රතිචාරයක් බන්ධනාගාර නිලධාරීන් ලබාදී නොමැත. පාතාල මර්දනයත් සමඟ මේ වනවිට පාතාලයන් සිටින්නේ කලබලයෙනි. ඒ නිසා අනාගතයේ සිදුකිරීමට තිබූ ඝාතන පවා මේ මොහොතේ කඩිනමින් සිදුකරන්නට දත කමින් සිටිති. පොලීසියේ වෙඩිපහර නියමයක් නිසා ඔවුහු ඊට පෙර මරාගෙන මැරෙන තැනට පත්ව සිටිති. මේ සියල්ල සිදුවන විට පාතාලයට කිරි පෙව්වෝ සතුටින් ඡන්ද ව්‍යාපාර කරමින් සිටිති


ගයාන් ගාල්ලගේ
(courtesy by - deshaya.lk)