නව කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියාවේ දරුවන් මිලියන ගණනක් දරිද්‍රතාවයට තල්ලු වී තිබෙන බව එක්සත් ජාතීන් පවසා ඇත. මෙම අර්බුධයේ දිගුකාලීන බලපෑමද පැහැදිලි කරමින් පසුගිය අඟහරුවාදා දින මිලියන 100කට වඩා ළමුන්ට බලපානු ලබන මෙම ප්‍රශ්නය පිළිබඳව ඔවුන් ඉතා ගැඹුරින් පැහැදිලි කරනු ලැබීය.
මේ වසංගතය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් වල ආර්ථිකය කඩා වැටීමට ලක් වී ඇති අතර ඒවාහි ආර්ථිකයන් නැවත පුනර්ජීවනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද ඔවුන් මෙහිදී පැහැදිලි කරන ලදි.

දරුවන් වෛරසයට ගොදුරු වීමේ අවදානම අඩු විය හැකි නමුත් අගුලු දැමීමෙන් ඇතිවන ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක හේතුවෙන් ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියේ යුනිසෙෆ්හි වාර්තාව මඟින් පැහැදිලි කර තිබේ.

ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ භූතානය ඇතුළු දකුණු ආසියාව තුළ ළමුන් මිලියන 600 ක් පමණ වාසය කරන අතර දැනටමත් මිලියන 240 ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන බව ඒජන්සිය වැඩිදුරටත් පවසයි. එමෙන්ම තවත් මිලියන 120 ක් පමණ දරිද්‍රතාවයට හා ආහාර අනාරක්‍ෂිතභාවයට මාස හයක් ඇතුළත තල්ලු විය හැකි බවටද ඔවුන් අනතුරු ඇඟවීය.

COVID-19 වෛරසයට සමස්ත පරම්පරාවක අපේක්ෂාවන් හා අනාගතය විනාශ කල හැකි බව යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ, ජීන් ගොජ් නිවේදනයක් නිකුත් කරමින් කියාසිට ඇත.

බංග්ලාදේශයේ යුනිසෙෆ් වාර්තාවලට අනුව ඇතැම් අන්ත දරිද්‍ර පවුල්වලට දිනකට ආහාරවේල් තුනක් ලබාගැනීම කිසිසේත් නොහැකි බව හෙළිවී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ සමීක්ෂණ වාර්තා අනුව පවුල්වලින් සියයට 30 ක් ආහාර පරිභෝජනය අඩු කර ඇති බව හෙළි වී තිබේ.

මීට අමතරව පාසල් වසා දැමීමත් සමඟ දුප්පත් ළමයින් හට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකි වී ඇත. විශේෂයෙන් අන්තර්ජාල පහසුකම් නොමැති ග්‍රාමීය කුටුම්භවල වෙසෙන ළමයින් මේ අර්බුධයෙන් වඩාත් පීඩාවට පත්ව ඇත.

නමුත් මෙම COVID-19 වසංගතයට පෙරත් පාසැල් නොගිය ළමුන් මිලියන 32 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් එය ඉතා අවාසනාවන්ත ඉරණමක් බවත් පැවසිය යුතුය. මීට අමතරව ළමුන්ට ගෘහස්ථ හිංසන තත්ත්වයන්, මානසික අවපීඩනය සහ වෙනත් මානසික සෞඛ්‍ය ගැටලු තත්වයන් රැසක් නිවසේ වැඩි කාලයක් ගත කිරීමත් සමඟ ඇති විය හැකිබවද ඔවුන් පෙන්වා දී තිබේ.

රිෂ්මි ඉෂාරා