නස් හැවිරිදි දෙදරු මවකගේ ගෙල මිරිකා ඝාතනය කළ බව කියන 49 හැවිරිදි තිදරු මවක සැකපිට අත්අඩංගුවට ගත් බව රුවන්වැල්ල පොලිසිය කියයි.මෙසේ සාතනය කරනු ලැබ ඇත්තේ රුවන්වැල්ල පොලිස් වසමේ මොරගොඩ, මැදියාව පදිංචිව සිටි විරසගොඩ ආරච්චිලාගේ කුසුමාවතී (50) නමැති තිදරු මවකි.
ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැකකාර කාන්තාව එම ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයකු සමග කාලයක් තිස්සේ සිට අනියම් සම්බන්ධතාවක්
පවත්වාගෙන ගොස් ඇති බව පරික්ෂණවලින් අනාවරණය විණි යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.


 මෙම කාන්තාවන් දෙදෙනාම අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා එක්තරා ක්ෂේත්‍රයක්  සම්බන්ධයෙන් පැවැති තරගයකින් ලංකාවෙම ප්‍රථම ස්ථානය ලැබූ අයකු බවද පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව මෙම පුද්ගලයාට රාත්‍රිය ගතකිරීමට ඇයගේ නිවසට එන ලෙස ආරාධනය කර ඇති බව කියති. එසේ ආරාධනය කර තිබියදීත් එම පුද්ගලයා  සැකකාරියගේ නිවසට නොගොස් කුසුමාවතී නැමැත්තියගේ නිවසට ගොස් තිබේ.

කුසුමාවතී නමැත්තියගේ නිවසට පළමුව ගොස් පසුව සැකකාර කාන්තාවගේ නිවසට පැමිණ ඇත. ඒ බව දැනගත් සැකකාර කාන්තාව ඊට උරණවී එම පුද්ගලයාට බැණවැදීමට පටන්ගෙන එය බහින් බස්වීමක් දක්වා දුරදිග ගොස් ඇති බව පැවසේ. ඒ අවස්ථාවේ එම පුද්ගලයා කාන්තාව තල්ලු කර නිවසින් පිටව ගොස් තිබේ. සැකකාර කාන්තාව පසුව කුසුමාවතී නමැත්තියගේ නිවසට රාත්‍රි කාලයේ ගොස් ඇයගේ ගෙල කොට්ටයකින් හිරකර මරා දමා ඇති බව පොලිසිය කියයි.

සැකකාර කාන්තාව පෙරේදා අත්අඩංගුවට ගෙන ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු සියල්ල අනාවරණය කරගැනීමට හැකිවිණි යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. එම කාන්තාවන් දෙදෙනා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයාගෙන් ද ප්‍රශ්නකර ප්‍රකාශයක් ලබාගත් බවද පොලිසිය කියයි.  කෑගල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පී. වසන්ත සෙනරත් සුමතිපාල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

සැකකාර කාන්තාව මුලින්ම නිවසේ බාල්කයේ සාරියක් ගැට ගසා සිය දිවි නසා ගැනීමට ගොස් අවසාන මොහොතේ එම අදහස අතහැර දමා කුසුමාවතී නමැත්තිය සොයා ගොස් ඇය මරාදමා ඇතැයි පොලීසිය කීය.

කුසුමාවතී නමැත්තිය ඝාතනය කිරිමෙන් පසු සැකකාර කාන්තාව අනුරාධපුර දුටුවැව ප්‍රදේශයට පලා ගොස් ඇයගේ ඥාති නිවසක දින අටක පමණ කාලයකට පසු යළි ගමට පැමිණ ඇත. ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමනපාල මහතාට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.


කෑගල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කෑගල්ල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උදිත් ලියනගේ සහ සහකාර පොලිස් අධිකාරි ශිරාන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පී. වසන්ත සෙනරත් සුමතිපාල මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් අමරසිංහ, පොලිස් පරික්ෂක ගුණරත්න, සැරයන් සේනාරත්න (34189) සහ සැරයන් රෝහිත (63586) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ මොරොන්තොට එන්.ආරච්චි)