ජාතික රෝහලෙන් මුදල් මංකොල්ලකා පළා යාමට තැත් කළ වෛද්‍යවරයෙකු පොලිසියට හසුවීමේ සිදුවීමක් ඊයේ වාර්තා විය.කොළඹ ජාතික රෝහලේ මුල්‍ය අංශයේ කාර්යාලයක තිබුණු මුදල් පැහැරගෙන පළා ගිය එම සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික රෝහලේ මුල්‍ය අංශයේ
වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා ගෙවීම් සිදුකරනු ලබන කාර්යාලය වෙත ඊයේ දහවල් පැමිණ කාර්යාලයේ සිටි සේවකයෙකුගේ හිසට ගිනි අවියක් එල්ල කොට මුදල් දමා තිබු සේප්පුව බලහත්කාරයෙන් විවෘත කොට එහි තිබු මුදල් අඩංගු මල්ලද රැගෙන පළා ගොස් තිබුණි.

මුදල් කොල්ලකා පළා යන සැකකරු පසුපස රෝහල් සේවකයින් හඹා ගිය අතර එම අවස්ථාවේ ඔහුද හොරෙක් හොරෙක් යැයි කෑගසමින් දිව ගිය බව වාර්තා විය.
එම උපාය ඔස්සේ එම පිරිසෙන් පළා ගොස් ටික දුරක් යද්දී මෙම වෛද්‍යවරයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

මෙම සැකකරු විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙසට සිය අධ්‍යයන කටයුතුවල නිරතව සිටින අයෙක් බවත් ඔහු ජාතික රෝහලේ සේවය කොට මිට සතියකට පමණ ඉහතදී වෙනත් ප්‍රදේශයක රෝහලකට ස්ථාන මාරුවීම් ලැබ ගොස් සිටි අයෙක් බවටද තොරතුරු වාර්තා විය.
කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා සැකකාර වෛද්‍යවරයා ජාතික රෝහලට අනුයුක්ත කර තිබුණි. ඔහු වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කළ වෛද්‍ය අත්දැකීම් සහිත අයෙකි.

සැකකාර වෛද්‍යවරයා බණ්ඩාරනායක වාට්ටු සංකීර්ණයේ සරප් කාර්යාලය වෙත ඇතුළුවූ අවස්ථාවේ එහි සේවිකාවන් කිහිපදෙනෙකු හා සේවකයෙකු සිට ඇත. පැමිණි පුද්ගලයා වෛද්‍යවරයෙකු වීම නිසා ඔහුගේ ඇතුළුවීම ගැටලුවක් කරනොගත් බව පොලිසිය හමුවේ සාක්ෂි දුන් සේවකයින් පවසා ඇත. කෙසේ වෙතත් එක්වරම පිස්තෝලය එල්ලකිරීම නිසා සේවකයින් තැතිගෙන තිබේ. කවුන්ටර 3 ක මුදල් තමන් ගෙනා මල්ලට දමාගන්නට ඔහු අනතුරුව කටයුතු කර තිබේ.

මුදල් රැගෙන පිරිස අතරින් පළායද්දී සේවකයින් හොරෙක් හොරෙක් යයි කියද්දී වෛද්‍යවරයාද හොරෙක් හොරෙක් යයි කියමින් ගොඩනැගිල්ලෙන් පළාවිත් ත්‍රීරෝද රථයක නැගී පළාගොස් තිබෙන අතර පොලිසියද ඔහු පසුපස ලුහුබඳින්නට කටයුතු කර තිබේ.

මේ අවස්ථාවේ වෙනත් රාජකාරියක් සඳහා රෝහලට පැමිණ සිටි මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනිය වරුණි බෝගහවත්ත මහත්මිය ඇයගේ රථයෙන් සැකකාර වෙද්‍යවරයා ලුහුබැඳගිය අතර වැඩිදුරක් යන්නට පෙර කේරි විද්‍යාලය අසළදී වෛද්‍යවරයා කොටුකරගන්නට ඇය සමත්විය. එම අවස්ථාවේ ආසන්නයේ ගිය කුරුඳුවත්ත පොලිසියේ ජංගම රථයක් නවතා සැකකරු පොලිසියට යොමු කරන්නට ඇය කටයුතු කළාය.
සැකකරු බොරැල්ල නවාතැනක පදිංචිව සිටින බවත් හොරණ මිල්ලෑව ස්ථිර පදිංචිකරුවෙකු බවත් වාර්තා වූ අතර ඔහුගේ වයස 33 කි.

මෙම වෛද්‍යවරයා කොල්ලය සඳහා යොදාගෙන ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් බවද පසුව හඳුනාගන්නා ලදි. සැකකාර වෛද්‍යවරයා කොල්ල කෑ රුපියල් ලක්ෂ 79 ක මුදල  හා  සෙල්ලම් පිස්තෝලයක් පොලිසිය බාරයට ගෙන ඇත