නාරාහේන්පිට පොලිස් සිරමැදියේ රඳවා සිටි තරුණයකු සිරමැදිරියේ වැසිකිළියේ වතුර බටයක එල්ලී පෙරේදා (24) රාත්‍රි මියගොස් සිටියේය.
 තරුණියකගෙන් රුපියල්  ලක්ෂ  5 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි කිතුල්ගල පදිංචි
රුවන් නිශාන්ත (32) නමැති තරුණයෙකු මෙසේ මියගොස් සිටියේය.
 මොහු පොලිස් රෝහලේ උපස්ථායිකාවක වශයෙන් සේවය කරන තරුණියක සමග පෙම්සම්බන්ධතාවක් පවත්වා ඇති බවත් පසුව තරුණයා එම තරුණියගෙන් මෙම රුපියල් ලක්ෂ  5 ක මුදල කිසියම් අවශ්‍යතාවක් සඳහා ඉල්ලාගෙන ඇති බවත් පොලිසියට තොරතුරු හෙළි වී ඇත.
 මුදල් ඉල්ලාගෙන මාස කිහිපයක් ගතවුවත් තරුණයා එම මුදල නොගෙවා ඇති බවත් ඒ හේතුවෙන් තරුණිය සමග ආරවුල් ඇති කරගෙන ඇති බවටත් පැමිණිලි ලැබුණ බව පොලිසිය කියයි.
පෙම්වතා තමන්ගෙන් ඉල්ලාගත් මුදල යළි නොගෙවීම සම්බන්ධයෙන් තරුණිය පෙරේදා නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර ඇත. පැමිණිල්ල අනුව පොලිසිය පෙරේදා සවස 4.30 ට පමණ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රකාශ ලබා ගැනීම සඳහා සැකකරු සිරමැදිරියට දමා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එදින සිරමැදිරියේ සිට ඇත්තේ මෙම තරුණයා පමණක් බවද පොලිසිය  සඳහන් කරයි.

 මියගිය තරුණයා රේගු සේවකයකු බවට තරුණියගේ පැමිණිල්ලේ සඳහන් වුවද ඒ බව තහවුරු කිරීමට ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන නොමැති බවද පොලිසිය පවසයි.  නාරාහේන්පිට පොලිසිය එදින රාත්‍රියේ රාජකාරි කළ ආධුනික  උප පොලිස් පරීක්ෂකවරයකු රාත්‍රි 8.00 ට පමණ සිරමැදිරිය පරික්ෂාවට ලක් කිරීමේ දී තරුණයා දක්නට නොලැබී ඇති අතර පසුව සොයා බැලීමේ දී සිරමැදිරයේ ඇති වැසිකිළියේ වතුර බටයක සපත්තු ලේස් එකකින් එල්ලී සිටින අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය පවසයි.
 තරුණයා එම අවස්ථාවේදීත් මියගොස්  සිටි බව පොලිසිය කියයි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ජී. ප්‍රභාකරන් මහතා පෙරේදා රාත්‍රියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තරුණයාගේ මළසිරුර කොළඹ ජාතික රෝහලේ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.  නාරාහේන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

(ඉන්දිකා රාමනායක , බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)