සමගි ජන බලවේගයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති පක්ෂ නායක හා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නම සහ ඡායාරූපය කඩිනමින් ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද (25) එම පක්ෂයට දැනුම් දී තිබේ.



කොළඹ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට අද (25) දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ නිරීක්ෂණය කර තිබුණි.

පක්ෂ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයෙකු බැවින් ඔහුගේ නම සහ ඡායාරූපය සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කළ නොහැකි බව එහිදී එම නිලධාරීන් පක්ෂ කාර්යාලයේ සිටි පුද්ගලයින්ට දැනුම් දුන්නේය.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ඇතුළු කොමිෂන් සභා හරහා විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට දැඩි අසාධාරණයක් සිදුවන බව පවසමින් සමගි ජන බලවේගය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ, එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ හා ජාතික ලැයිස්තු අපේක්ෂක ශිරාල් ලක්තිලක යන මහත්වරුන් විසින්ය.

මේ අතර මෙවර මහ මැතිවරණය පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේදී අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණි.