සුගිය දිනවල ආන්දෝලනාත්මක ගැටලු මතුකළ ගල්කිස්ස සිට කලුතර දක්වා ඛාදනය වන වෙරළ තීර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන මෙම සතියේදී අවසන් වූ බව වෙරළ සංරක්ෂණ අධිකාරිය (CCD) පවසා තිබුණි.
මෙම වැඩසටහන යටතේ ඝන මීටර 150,000ක වැලි තොගයක් ගල්කිස්ස වෙරළට ගෙනැවිත් දැමූ අතර රළ මගින් එම වැලි උතුරු දිශාවට ගසාගෙන යයි කියාත් ඉන්පසුව වැල්ලවත්තේදී මීටර 15ක වෙරළ ප්‍රමාණයක් නිර්මාණය වේ යැයි  කියාත් බලාපොරොත්තු විය. නමුත් ගල්කිස්ස වෙරළ තීරය වැලි දමා ප්‍රතිසංස්කරණය කිරීමේදී පැවති ඉලක්කයට ළඟා වීමට නොහැකි වූ බව
මේ සතිය තුළ පළ වූ වාර්තාවක සඳහන් විය. “මෙම ක්‍රියාවලිය සිදු වූයේ ප්‍රමාණවත් සැලැස්මකට අනුව නොවන අතර එම ක්‍රියාවලියේදී මූලික වෙරළ ඉංජිනේරු ප්‍රතිපත්ති නොසලකා හැර තිබේ. කොහොමනමුත් ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වී තිබේ” කියා එම වාර්තාවේ සඳහන් විය.
වෙරළබඩ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා, සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ද වොස් සහ Oceanswellහි වැඩසටහන් නිලධාරි නාදියා අස්මි එම වාර්තාවේ අදහස් දක්වා තිබූ බව නාමිනී විජේදාස පවසයි. ඔවුන් පවසන්නේ ගල්කිස්ස වෙරළ තීරයට ගෙනත් දැමූ වැලි ප්‍රමාණයෙන් වැඩි හරියක් නිරිත දිග ‍මෝසම සක්‍රීය වීමත් සමඟ එම වෙරළ තීරයෙන් සේදී යන බවය.
ඇම්ෆන් සුළිකුණාටුව මගින් ඇති කළ සැඩ රළ හේතුවෙන් යම් වැලි ප්‍රමාණයක් දැනටමත් සේදී ගොස් තිබේ. බලාපොරොත්තු පරිදි මීටර 15ක වෙරළක ලැගුම් ගැනීම සඳහා ගල්කිස්ස වෙරළට දමා තිබෙන වැලි ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බව එහි සඳහන් විය.
CCD මගින් Sand engine ක්‍රමය භාවිත කළා යැයි කිව්වද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී ඇති ක්‍රමවේදය එම Sand engine ක්‍රමයට නොගැළපෙන බව වෙරළ ඉංජිනේරුවරයෙක් සහ පරිසර විශේෂඥයෙක් වන චන්න ප්‍රනාන්දු මහතා පවසයි. ඛාදනයට ලක් වූ ස්ථානවලට වෙරළ තීරය දිගේ වැලි රැගෙන යෑම සඳහා මෙම ක්‍රමයේදී රළ, සුළඟ සහ දියවැල්වල හැසිරීම බලපායි. මෙම ක්‍රියාවලියට ඉඩ සැලසීම සඳහා විශාල වැලි තොගයක් ගෙනැවිත් උසින් වැඩි වෙරළ තීරයක ගොඩගසනු ලබන අතර අවුරුදු 10ක් හෝ ඊට වැඩි කාල සීමාවක් ඇතුළත එම වැලි ක්‍රමයෙන් වෙරළ දිගේ පහළට ගමන් කිරීම බලාපොරොත්තු වේ.
ගල්කිස්ස වෙරළ ප්‍රතිසංස්කරණය කිරීමේදී මෙම Sand engine සිද්ධාන්තය ක්‍රියාත්මක වී නොමැති නමුත් ගෙනත් දමන ලද වැලි, වෙරළ දිගේ ගමන් කිරීමේ පොදු ක්‍රමය ක්‍රියාත්මක වී ඇති බව ප්‍රනාන්දු මහතා පැවසීය.
“මුල්ම කරුණ වන්නේ Sand engine ක්‍රමය බලපාන ප්‍රදේශ මොනවාද කියා කොහේවත් සඳහන් කර නොතිබීමය. නමුත් වැල්ලවත්ත එහි මායිම බව අහම්බෙන් තීරණය කරන ලදි. නමුත් එය වැල්ලවත්තෙන් එහාට එනම් බම්බලපිටියට හෝ කොල්ලුපිටියට දීර්ඝ නොකළේ මන්ද” කියා ප්‍රනාන්දු ප්‍රශ්න කරයි.

“දෙවෙනුවට, ගල්කිස්ස සහ වැල්ලවත්ත අතර ප්‍රතිසංස්කරණ කරන ලද වෙරළ ප්‍රදේශ පිළිබඳ වාර්තාගත සාක්ෂි නොමැතිය. තුන්වෙනුව, ගල්කිස්ස වෙරළට වැලි ගෙනැවිත් දැමීමෙන් බලාපොරොත්තු වූයේ ඉහළින් පිහිටි වෙරළකට වැලි ගොඩගැසීම මගින් අවුරුදු 10 සිට 15 දක්වා කාලයක් එම වැලි වෙරළ තීරය දිගේ අනෙකුත් ස්ථානවලට ගමන් කිරීම නම් එම බලාපොරොත්තුව ඉටු වී නොමැති අතර එම වැලි ගොඩ එම ස්ථානයේ රැඳී තිබෙන්නේ සති කිහිපයක් පුරාවට පමණක්ය” කියා ඔහු කරුණු ඉදිරිපත් කරයි.
ස්වාභාවික බලයන් මගින් එම වැලි පහළ වෙරළ තීරයන් කරා ගමන් කිරීමට නම් එය අතරමැද බාධක රහිත වෙරළ තීරයක් විය යුතුය.‍ නමුත් මේ සඳහා “ස්වාභාවික සහ කෘත්‍රිම බාධකයන්” තිබෙන බව ඔහු සඳහන් කරයි. “වර්ෂයේ වියළි මාසවලදී මෙම මෝයට බාධක දමා තිබෙන අතර සාමාන්‍යයෙන් දෙහිවල ඇල මාර්ගයේ ගලා යෑම ඉතා අඩු මට්ටමක පවතියි.”
දැන් එම වැලි දෙහිවල මෝයේ එකතු වීමේ හැකියාවක් පවතියි. “නමුත් වෙරළ ප්‍රතිසංස්කරණය සිදු කළ පසු කොළඹට ලැබුණු තද වැසි හේතුවෙන් දෙහිවල ඇල මාර්ගයේ ඉහළ ගලා යෑමක් ඇති වී තිබෙන අතර උතුරු දෙසට ගමන් කරන වැලි මෝය කටෙහි එක් රැස් වීම වැළකීම සතුටට කරුණක්ය” කියා ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ගල්කිස්ස සහ වැල්ලවත්ත අතර වැලි ගමන් කිරීමට බාධා විය හැකි ස්වාභාවික සහ මිනිසුන් විසින් නිපදවන ලද බාධක තිබෙන බව තම විශ්ලේෂණ මගින් හඳුනාගෙන ඇති බව මහාචාර්ය පට්ටිආරච්චි සහ ඔහුගේ කණ්ඩායමද පැවසීය. අපොන්සු මාවත ප්‍රදේශයේ වෙරළ ආශ්‍රිත ගල්තලාවල සැකැස්ම සහ දෙහිවල හා වැල්ලවත්ත මෝය මීට ඇතුළත් වේය.
“කොතරම් වැලි ප්‍රමාණයක් මෙම බාධක මැඩගෙන ඉදිරියට ඇදේවිද සහ වැඩි වැලි ප්‍රමාණයක් ගමන් කිරීම හේතුවෙන් එකතු වන රොන් මඩ මගින් මෝයවලට යම් බලපෑමක් ඇති වේවිද කියා සඳහන් නොවේ” කියා ඔවුන් පවසයි. “මෝය කටවල් විවෘතව තැබීම සඳහා එම මඩ ඉවත් කිරීම අවශ්‍ය විය හැකිය.”
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරී‍මේදී නිරිත දිග මෝසම් කාලය අතහරින්න තිබුණ බව ප්‍රනාන්දු පැවසීය. එවිට එතරම් සැඩ නොවන දිය වැල් මගින් මෙම වැලි රැගෙන යෑමේදී යම් කාලයක් ගත වන අතර එය සාර්ථක යැයි ඔහුගේ අදහසයය. “නමුත් අප දැන් මුහුණ දෙන ඛාදනය එමගින් සම්පූර්ණයෙන්ම වැළැක්විය හැකි බවක් අදහස් නොවන” බව ඔහු පැවසීය.

නමුත් ගල්කිස්ස තුඩුවේ සිට වැල්ලවත්ත මෝය කට දක්වා තිබෙන කිලෝමීටර 5ක ප්‍රදේශය තුළ වෙරළ ඛාදනයක් සිදු වී නොමැති බව පැහැදිලිය. “දශක ගණනාවක් පුරා එම වෙරළ ඛාදනයකින් තොරව පැවති” බව මහාචාර්ය පට්ටිආරච්චිගේ වාර්තාවේ පවා සඳහන් විය. නමුත් අවුරුද්දේ විවිධ කාලවල සිදු වන වෙනස්කම් හේතුවෙන් වෙරළෙහිද යම් ස්වාභාවික වෙනස්කම් පමණක් දැකගත හැකි විය.
වෙරළ සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේදී එයින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව විස්තරාත්මක විමර්ශනයක් සිදු කරයි. CCD පැවසූ පරිදි එහි ඉලක්කය වී තිබුණේ වැලි ගෙනැවිත් දැමූ ගල්කිස්ස වෙරළ සිට කිලෝමීටර 5ක් දුරින් පිහිටි වැල්ලවත්තෙහි කිලෝමීටර 15ක් දක්වා වූ වෙරළක් සකස් කිරීම බවය.
“මෙම විමර්ශනය තුළදී සංවර්ධන කටයුත්ත සඳහා වැලි කොතරම් ප්‍රමාණයක් අවශ්‍ය වේද කියාත් එම වැලි ගෙනැවිත් දමන ස්ථානය කුමක්ද කියාත් සලකා බැලීම අත්‍යවශය” කියා ඉහත කී වාර්තාවේ සඳහන් විය. “නමුත් මෙම වෙරළ සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹීමේදී එවැනි අධ්‍යයනයක් සිදු කර ඇති බවට සාක්ෂි සඳහන් නොවේ” කියා එහි තවදුරටත් සඳහන් විය. නමුත් රත්මලානේ රොන් මඩ ඉවත් කිරීමට පමණක් එවැනි පරිසර බලපෑම් තක්සේරුවක් සිදු කර තිබෙන බව සඳහන්ය.
සාමාන්‍යයෙන් වෙරළ සංවර්ධන ව්‍යාපෘතියකදී ඛාදනය වූ වැලි ප්‍රමාණය මෙන් දෙගුණයක් ‍හෝ තුන් ගුණයක් වෙරළ ස්ථානයකට ගෙනැවිත් දැමීම බලාපෙ‍ාරොත්තු වේ. නමුත් ගල්කිස්සට ගෙනත් දමන ලද වැලි ඝන මීටර 150,000 ප්‍රමාණවත් නොවන බවත් එසේ සැලකූ විට ඉක්මනින්ම එම වැලි ප්‍රමාණය වෙරළින් ඉවත් වී යෑම පුදුමයට කරුණක් නොවන බවත් එම පුවත් වාර්තාවේ සඳහන් විය.
“තරංග විවර්තනය සහ සැඩ රළ බලපෑම හේතුවෙන් වැලි සියල්ලම ගසාගෙන ගොස් තිබේ. ප්‍රතිසංවර්ධනය කිරීමෙන් පසු ඡායාරූප සහ දැන් තිබෙන තත්ත්වය පිළිබඳ ඡායාරූප බොහොමයක් සමාජ මාධ්‍ය තුළ දැකගත හැකි විය. කාලගුණය නැවත සන්සුන් වන විට මෙම වැලිවලින් කොපමණ ප්‍රමාණයක් නැවත වෙරළට පැමිණේවිද කියා ඉදිරියේදී දැක බලා ගත හැකිය.”

(නාමිනී විජේදාස විසින් “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට පළ කළ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක
[June11, 2020 - Gossiplankanews.com]