කො‍රෝනා අගුළු දැමීමේ කාලසීමාව තුළ පරිසර දූෂණයේ විශාල පහත වැටීමක් සිදු වී ඇති බව පසුගිය කාලය පුරා වාර්තා විය. නමුත් කොරෝනා නිසාම නිල්වන් මිහිතලය වනසන අලුත් අපද්‍රව්‍යද පරිසරයට එක් වන්නට පටන්ගෙනය. සුන්දර වෙරළ තීර පුරා තැන තැන රබර් අත්වැසුම්ද කාණුවල මුහුණු ආවරණද දමා ගොස් ඇති අයුරු ඇතැම් රටවල දැකගත හැකි විය.
කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව
මුහුණු ආවරණ, අත්වැසුම්, විෂබීජනාශක දියර බෝතල් සහ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වෙනත් ආරක්ෂක උපාංග සාගරයේ, ගංගාවල සහ කාණු පද්ධතිවල වැඩි වශයෙන් දක්නට ලැබීම පිළිබඳව බොහෝ සංවිධානවල අවධානය යොමු වී තිබේ.
ප්‍රංශ සාගර සංරක්ෂණ කණ්ඩායම විසින් සිදු කරන පිරිසිදු කිරීමේ වැඩසටහන් පිළිබඳව එම ආයතනය නිතිපතා සමාජ මාධ්‍යය තුළ තොරතුරු බෙදාගනියි. එම කණ්ඩායම වාර්තා කර ඇත්තේ මධ්‍යධරණි මුහුදේ දක්නට ලැබෙන සෞඛ්‍යාරක්ෂිත උපාංග පෙරට වඩා සැලකිය යුතු ඉහළ ප්‍රමාණයක් දක්නට ලැබූ බවය. “කොරෝනා හේතුවෙන් පරිසරයට බැහැර වන දේවල් පිළිබඳව අප‍ට ගොඩක් කනගාටුයි. පිරිසිදු කරන සෑම වාරයකදීම අප පරිසරයට බැහැර වන මෙවන් දේවල් ඉවත් කරනවා, ප්‍රධාන වශයෙන් රබර් අත්වැසුම්” කියා එම කණ්ඩායම මඟින් මැයි 20 දින මුහුණු පොතේ සඳහන් කර තිබුණි.
මැයි 23වෙනිදා මධ්‍යධරණි මුහුදේ පිරිසිදු කිරීමේ වැඩසටහනක යෙදුණු පසු එම කණ්ඩායම සඳහන් කළේ “භාවිතයෙන් පසු ඉවත දමන වර්ගයේ පළමු මුහුණු ආවරණය අද මුහුද පිරිසිදු කිරීමේදී අපට හමු වුණා. මෙය ආරම්භයක් පමණය. ඉදිරියටත් මෙසේ සිදු වුවොත් එය විශාල පාරිසරික ඛේදවාචකයකට මඟ පෑදිය හැකි අතර සෞඛ්‍ය ගැටලුවලටද හේතු විය හැකිය.”
යුරෝපයේ පමණක් නොව එක්සත් ජනපදයද වාර්තා කර තිබෙන්නේ  රබර් අත්වැසුම් සහ මුහුණු ආවරණ හේතුවෙන් අපවහන පද්ධති සහ වැසි ජලය පොම්ප කරන පද්ධති අවහිර වී ඇති බවය. ඒවා බොහෝදෙනෙක් වැසිකිළි පෝචිචියට දැමීම නිසා අපවහන පද්ධති අවහිර වී ඇති බව මතයය.
මෙම ගැටලුව කොතරම් දුරට බලපානවාද යන්නට සංඛ්‍යාත්මක දත්ත තවම නොමැති වුවද Assiciated Press විසින් එක්සත් ජනපදයේ නාගරික නිලධාරීන් 15දෙනෙකුගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ වසංගතය ආරම්භ වීමෙන් පසුව පෙරට වඩා බට මාර්ගවල සහ මලාපවහන පද්ධතිවල අවහිරතා උද්ගත වන බවය. මීට හේතු විය හැක්කේ සෞඛාරක්ෂක උපාංග සහ ටොයිලට් පේපර් වෙනුවට භාවිත කරන වෙනත් දෑ වැසිකිළි පෝච්චිවලට දැමීම විය හැකිය.

මෙම ගැටලුව මධ්‍යයේ සෞඛාරක්ෂක උපාංග නිසි ලෙස බැහැර කරන ලෙස මහජනතාවට පවසමින් එක්සත් ජනපදයේ පරිසර සංරක්ෂණ ඒජන්සිය මගින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බව සඳහන්ය. විෂබීජනාශක ටිෂූ, අත්වැසුම්, මුහුණු ආවරණ, සෞඛ්‍යාරක්ෂිත උපාංග හෝ ඕනෑම සායනික අපද්‍රව්‍යයක් ප්‍රතිචක්‍රීකරණ බඳුන්වලට බැහැර නොකරන ලෙස එම ප්‍රකාශයේ සඳහන් විය. මන්දයත් එසේ සිදු කිරීමෙන් රෝගකාරකයන් එම බඳුන් තුළ වර්ධනය විය හැකි අතර එය සෞඛ්‍යයට බලපෑම් ඇති කරයි. බොහෝ ප්‍රතිචක්‍රීකරණ සංවිධාන මගින් මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ මුහුණු ආවරණ සහ අත්වැසුම් සාමාන්‍ය කසළ අඩංගු බඳුන්වලට දමන ලෙසටය. එමනිසා ඔබ නිවසින් පිටතට යන විට සෞඛ්‍යාරක්ෂාව සඳහා ඔබ භාවිත කළ උපාංග බැහැර කළ යුත්තේ ඊට අදාළ සාමාන්‍ය කසල බඳුනකටය.
“භාවිත කළ රබර් අත්වැසුම් හෝ මුහුණු ආවරණ බිම දැමීම හෝ ගස් අතරට විසි කිරීම කිසිවෙක් නොකළ යුතුය” කියා උතුරු ඇමරිකාවේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ සංවිධානයේ ඩේවිඩ් බිඩර්මන් සඳහන් කළේය. “ආසාදිත සෞඛ්‍යාරක්ෂිත උපාංග බිම දමා යෑමෙන් Covid-19 වසංගතයට නිරාවරණය වීමේ අවධානම ඉහළ දමන අතර පාරිසරික හානියක්ද සිදු වේ.”

(IFL SCIENCE වෙත Tom Hale විසින් පළ කළ ලිපියක් ඇසුරිනි)

එස්. දහනායක
[June 11, 2020 - Gossiplankanews.com]