ශ්‍රී ලංකාව මූලික කර ගනිමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට අදාළව මේ වනවිට අතර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය  දෙමාපිය සංගමය සඳහන් කරයි.
වසර තුනක් එංගලන්තයේදී හා වසර දෙකක් ලංකාවේදී වෛද්‍ය අධ්‍යපනය ලබාදෙන බවට එම දැන්වීමේ සඳහන් කර තිබෙන බවත්,මේ පිළිබඳ ආණ්ඩුවේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්ථාවරය වහාම රටට ප්‍රකාශ කළ යුතු බවත් එම සංගමයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා පැවසීය.

සියලු දෙනාගේ විරෝධය මත සයිටම් ආයතනය ස්ථාපිත කර ලංකාවේදී හා රුසියාවේදී වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට 2009 වසරේදී සැලසුම් සකස් කළ බවත්, එහෙත් වසර 09ක් තිස්සේ පැවති අරගලවලින් එම උත්සාහය පරාජයට පත් කළ බවත් හෙතෙම පවසා සිටියේය.

මෙම අරගලය නිසා වෛද්‍ය ශිෂ්‍යයන්ට වසර ගණනක් මහපාරේ විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සිදු වූ බවත්, මෙම තත්වය සැලකිල්ලට ගෙන රට නැවත එම තත්ත්වයට පත්වීම වළක්වා ගැනීමට බලධාරින් අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් වසන්ත අල්විස් මහතා පැවසීය.

(එච්.අයි. තුෂාර)