නිරෝදායනය වෙන  පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙවර මැතිවරණයේදී අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.  ඒ අනුව නිරෝධායනය වන පුද්ගලයන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සෑම නිරෝධායන මධ්‍යස්ථානයකම ඡන්දපොළ බැගින් ස්ථාපිත කරන බවද මැතිවරණ කොමිසම කියයි.
ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානවල පිහිටුවන ඡන්දපොළහි රාජකාරි කරන නිලධාරීන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ උපදෙස් මාලාවන්ද නිකුත් කර තිබේ. එම නිලධාරින් ශාලාවට ඇතුළුවීමට පෙර සම්පූරණයෙන්ම ආරක්ෂිත ඇදුම් කට්ටලයකින් සැරසී සිටීම අනිවාර්ය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණ කොමිසමට ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් මාලාවේ සඳහන් වේ.


ඒ අනුව රාජකාරී කරන නිලධාරීන් ශල්‍ය මුඛ ආවරණ, අත්වැසුම්, මුහුණ ආවරණ, ශරීරය ආවරණය වන ඇඳුම් බූට් සපත්තු පැළඳීම අනිවාර්ය කර තිබේ.නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද පොළ මධ්‍යස්ථානවල කටයුතු කරන නියෝජිතයින්ද මුඛ ආවරණවලට අමතරව මුහුණු ආවරණ පැළඳිය යුතු අතර මීටරයක් වෙනුවට ඡන්දදායකයන් සමග මීටර් දෙකක දුරක් තබා ගත යුතු බවද එහි සඳහන් වේ.

නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටිවල සියලුම පැති විෂබීජහරණය කර මුද්‍රා තබා පොලිතින් බෑගයක ඇසිරිය යුතු බවද සෞඛ්‍ය උපදෙස් මාලාවෙහි සඳහන් කර ඇත.  මීට අමතරව සාමාන්‍ය ඡන්ද පොළක පවතින සෞඛ්‍ය උපදෙස් ද නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද පොලවලට අනුගමනය කිරීම අනිවාර්ය වේ.

(රංජන් කස්තුරි)